ප්රතික්ෂේප වෙලා තියනවද ?
ජීවිතේ කොහෙදි හරි ප්රතික්ෂේප වීම ඔබ අත්විඳලා තියනවද ?
දෙමවිපියන්ගෙන් , පෙම්වතාගෙන් , සහකාරියගෙන් , යාළුවන්ගෙන් , රස්සාවකින් , සමාජ තලයකින් හෝ කොහේදී හෝ ඔබ ප්රතික්ෂේප වෙලා තියනවද ?
කාගෙන් හරි ප්රතික්ෂේප වීම කියන්නෙ දරාගන්න බැරි තරමේ දුකක් , ඒ වගේම කණගාටුදායක කළකිරීමක් බව ඇත්ත ..
හැබැයි එතනින් පොඩ්ඩක් එහාට හිතුවොත් ප්රතික්ෂේප වීම කියන්නෙ ජීවිතේට ලැබෙන ලොකුම motivation එක ..
මොකද කොහේදී හෝ ප්රතික්ෂේප වීමේ කාලකණ්නි දුක දැනුනට පස්සේ , ජීවිතේට ලැබෙන පන්නරය එසේ මෙසේ එකක් නම් නෙමයි .
කෙනෙක් ඔබව ප්රතික්ෂේප කරනවානම් , එතන ඔබ හිතනාවාට වඩා වැදගත් පණිවිඩයක් හැංගිලා තියනවා ..
1) ඔබේ කඩාවැටීම් දරාගන්න බැරි නිසා නිසා ,
ඔබ සතුව තවදුරටත් වටිනා යමක් නොමැතිනම් , හෝ ඔබ සිටින්නේ පරිහානියට පත් වෙමින් නම් බොහෝ තැන් වලදී , ඔබව ප්රතික්ෂේප කිරීමට බොහෝ දෙනෙකු සිටීවි ,
2) ඔබේ ජයග්රහණ දරා ගන්න බැරි නිසා ,”
මොන තරම් ඔබට හිතවත් වුවත් ඔබ ඔවුන්ව පසුකරමින් ඉහළ යනවා දැකීමට බොහෝ පිරිස අකමැතියි ,කෙනෙකුගේ ජයග්රහණ දරාගන්න , ඒ දෙස බලන් ඉන්න බැරි වූ විට ඔවුන් බොහෝ විට කරන්නෙ ඔබව ප්රතික්ෂේප කිරීම තමයි .
ප්රතික්ෂේප වීම කියන්නෙ පණිවිඩයක් ,මුලින්ම ඒ පණිවිඩය කුමක්දැයි හඳුනාගන්න ,ඔබ කොතනකදී හෝ කවරෙකුගෙන් හෝ ප්රතික්ෂේප වූ විට , ඒ වේදනාව අතරින් ආපසු හැරී මොහොතක් යලි ඔබ දෙසම බලන්න ,
එක්කො ඔබ ඉන්නෙ කට්ටටම වරද්දගෙන , එහෙමත් නැත්තම් ඔබ ඉන්නෙ අනිත් අයට බලන් ඉන්න බැරි තරමට ජීවිතේ දිනාගෙන ..
මුලින්ම ඔබ අයිති මේ කොයි පැත්තටද කියලා ඔබම තීරණය කරන්න ,
කොයි පැත්තට අයිති උනත් , සතුටු වෙන්න ,මොකද ප්රතික්ෂේප වීමේ වේදනාව හැම කෙනෙක්ම බලෙන්ම හොයාගෙන හරි විඳින්නම ඕනෙ ..
මොකද මේ ලෝකේ ප්රසිද්ධම , ජනප්රියම පුද්ගලයින් බොහෝමයක් , කාලෙකට කලින් දරුණුම විදිහට ප්රතික්ෂේප වීම අත්විඳපු මිනිස්සු ..
කැටී පෙරී හේතුවක් නැතුව තමන්ගෙ සැමියාගෙන් ප්රතික්ෂේප වෙනවා , ඒ වේදනාව පන්නරයක් කරගෙන අන්තිමට ඇය ලෝක ප්රසිද්ධ ගායිකාවක් බවට පත්වෙනවා .
Steve Jobs ව තමන්ම ආරම්භ කරපු ඇපල් කොම්පැනියෙන් එළියට දානවා , ඒ ප්රතික්ෂේප වීමෙන් ටික කාලෙකින් පසු ඔහු ලෝකෙ ලොකුම ධනවතෙක් බවට පත් කරවනවා .
වෝල්ට් ඩිස්නි සතුව කිසිම නිර්මාණශීලීත්වයක් නැහැ කියලා ඔහුගේ ආයතනය ඔහුව එලවලා දානවා ,අවසානයේ ඔහු නවතින්නේ තමන්ගේ නම මුළු ලෝකෙමනස්සක් මුල්ලක් නෑරම ඇහෙන්න සලස්වලා .
තමන් ලියපු පොත් ප්රකාශකයෝ 12 දෙනෙකුගෙන් ප්රතික්ෂේප වුනාට පස්සෙත් අරමුණ අත නොහැරපු J K රෝලින් අවසානයේ ලොව ධනවත්ම කතුවරිය බවට පත්වුනා .
තමන් තදින්ම ආදරය කරපු පෙම්වතා තමන්ව ප්රතික්ෂේප කලාට පස්සේ ,විශාදය හැදිලා දුක් විඳපු දීපිකා පදුකෝන් වර්තමානයේ බොලිවුඩ් වල වැඩිම මිලක් අයකරන නිළිය බවට පත්වුනා .
ඔබ අවට ඉන්න ජීවිතේ දිනපු දෙතුන් දෙනෙක්ගෙන් ආපු ගමන ගැන අහල බලන්න ,ඒ ගමනෙ කොහේ හරි තැනක තදින් ප්රතික්ෂේප වුනු හැටි ඔබට ඇසේවි ..
තනිවෙලා , පැරදිලා , කලකිරිලා , ප්රතික්ෂේප වෙලා , මේ ඔක්කොම උනාට පස්සේ , තමයි ඔයාට ඔයාගෙ ඇතුලෙ හැංගිලා ඉන්න ඔයාව පේන්න පටන්ගන්නෙ ,එතකොට තමයි අරමුණු පස්සේ කඟ වේනෙක් වගේ දුවන්න මොරාල් එකක් දැනෙන්නේ , එතැනදී තමයි , මේ මහපොළවේ නමක් තිබ්බ මිනිහෙක් වෙන්න ඕනෙමයි කියලා ඔයාට දැනෙන්න පටන් ගන්නේ ..
අන්න ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ ප්රතික්ෂේප වීම තමයි බලවත්ම මෝටිවේෂන් එක කියලා .
මේ වෙනකන් ජීවිතේ කවදාවත් ,කාගෙන්වත් ඔබව ප්රතික්ෂේප වෙලා නැත්තම් ඔබ වාසනාවන්ත බව ඇත්ත , හැබැයි තාමත් ඔබ ඔබගේ හැකියාවේ උපරිමය නම් ස්පර්ශ කරලා නැහැ ,,ඒ නිසා බලෙන් හරි එක සැරයක් හරි ජීවිතේ ප්රතික්ෂේප වීම අත් විඳින්න .ප්රතික්ශේප වීම මුලදී වේදනාවක් උනාට ටික කාලෙකින් ඒක මොන තරම් පළදායි විඳීමක් ද කියලා ඔයාටම තේරෙයි .
අනිශා ජයකොඩි
Anisha Jayakody