ෆේස් බුක් ගැසට්

යාළුවො අතර තිබ්බ කාර්යබහුල බව නිසා නිතර හම්බෙන්න බැරි වීමේ දුරස්ථභාවය නිසා ඇතිවන මානසික ආතතිය අඩු කරන්න කියලා හිතාගෙන 2004 දී මාර්ක් ළමයා ෆේස් බුකිය හැදුවා ,

එහෙ කෙසේ වෙතත් මෙහෙ නම් දැන් වෙලා තියෙන්නේ ඒකෙ අනිත් පැත්ත ,

ආතතිය අඩු කරගෙන පොඩ්ඩක් රිලැක්‍ස් වෙනවා වෙනුවට මේ අටමගල නිසා ගොඩක් මිනිස්සු ඉන්නේ හිටියට වඩා පීඩනයකින් ..

ඇතුවත් බැරි නැතුවත් බැරි බුකිය නිසා සසර කලකිරිලා එල්ලිලා මැරිච්ච මිනිස්සු වගේම , තමන්ට ජීවිතේ ආයෙ කවදාවත් හම්බවෙන එකක් නැහැයි කියලා හිතපු යාළුවො මුණගැසුණු අවස්ථා වගේම , දැනුම බුද්ධිය ස්වයං රැකියා හොයාගත්ත මිනිස්සුත් ඕන තරම් ඉන්නවා ..

බුකිය කියන්නේ ගින්දර වගේ දෙයක් :

පරිස්සමට පාවිච්චි කරලා උයා පිහා ගන්න පුළුවන් වගේම පොඩ්ඩ මිස් උනොත් අත පය පිච්චිලා කරවෙලා අලුවෙලා යන්නත් පුළුවන් ..

මේක හදපු මාර්ක් ළමයට අමතක උනාට දශකයකට වැඩි කාලයක් මේකෙ කරක් ගහපු අත්දැකීම් නිසා හැමෝගෙම හිත සුව පිණිස ”පීඩනයකින් තොරව බුකියේ හැසිරීම ගැන නිල නොවෙන ගැසට් පත්‍රයක් ඉදිරිපත් කලොත් හොඳයි කියලා හිතුණා ”

මේ කරුණු තම තම නැණ පමණින් අදාළ කර ගැනීම මගින් , බුකිය නිසා ඇතිවන සකලවිද දෝෂ බොහොමයක් නිවාරණය කර ගත හැකි වන බව නම් අත්දුටුවයි , ප්‍රත්‍යක්ෂයි ..

  • මුහුණු පොත යනු ”මුහුණ බලා හඳුනා ගැනීම ” නිසා අනන්‍යතාවය හෙළි කිරීමට බැරි ගන්දබ්භයෝ මිතුරු ලැයිස්තුවට ඇතුලත් කර ගැනීම සීමා කරන්න .
  • බුකියට පොටෝ අප්ලෝඩ් කිරීමේදී ඔප්පු ඉදිරිපත් කිරීමක් , අනන්‍යතාවය ඔප්පු කිරීමක් , දත්ත පරීක්ෂාවක් සිදු නොවන නිසා ,බුකියේ දොස්තර කෙනෙක් වීමට , රටේ අගමැති වීමට , ඉඩම් හිමි වැවිලි කරු වීමට , ෆෙරාරි කොම්පැනියේ අයිති කාරයා බවට පත්වීමට , ප්‍රකෝටිපතියෙක් , බවට පවසමින් ලෝකයා ඇන්දවීමට අවශ්‍යවන්නේ කැමරාවක් සහ අකුරු ටයිප් කිරීමේ හැකියාව පමණක් නිසා බුකියේ පවසා ඇති තනතුරුවලට රැවටීමෙන් වලකින්න .
  • පොදු වැසිකිලියකට යාමට අවසර ගැනීමක් වුවමනා නැත , ඉතින් ඔබේ වෝල් එක පබ්ලික් නම් , හැමෝටම පේනවා නම් අනේ මගේ පොටෝ අරයා අරන් එඩිට් කරලා , මගේ ලිපි ශෙයා කරලා , මගේ එකට like දාලා කියල චුරු චුරු ගාලා පලක් නැත . ඔබට ඒ අවධානම ගත නොහැකි නම් කරුණාකර ඔබේ audience settings අවශ්‍ය ලෙස වෙනස් කරගන්න .
  • ඔබ උදේ නැගිටපු වෙලාවේ බීපූ තේ කෝප්පයේ ඉඳන් රෑ නිදියන්න යනකම් කාපු බීපූ නාපු හැටි ඔබට ඕනේ නම් බුකි ගත කල හැක , නමුත් බුකියට පොටෝ නොදා උනත් කන්න බොන්න ,අඳින්න පළඳින්න කාටවත් තහනමක් නැත , එනිසා බුකියේ පොටෝ දමා නැති මිනිස්සු සාගතයට අහුවෙලා කියා නිගමනය කිරීම නිවැරදි නැති අතර කෑම බීම යන එන තැන් බුකියේ දමන අය ,සෝබන කාරයෝ කියා උපකල්පන කිරීමද අවශ්‍ය නැත .
  • ඔබ දිග ගවුම් අඳින්නට කැමති කෙනෙක් වීම ඔබේ ලිස්ට් එකේ කෙනෙකුට ශෝටක් ඇඳීමට භාදාවක් විය නොහැක , ඒ ඇඳුම කැතයි නම් , වෝල් එක පබ්ලික් නම් , අනුන්ගේ ලබ්බවල් දැක්කම කට වහන් ඉන්නම බැරිනම් ”අනේ හරි කැතයි ” කියා කමෙන්ට් එකක් ලියන්න නීතියෙන් තහනමක් නම් නැත , හැබැයි ඔබට ඔබ කැමති දේ කිරීමට ඇති අයිතිය ඇයටත් එසේම තියන නිසා , කට වහන් පාඩුවේ පහලට යන එක තමයි හොඳම .
  • ඉස්සර ගමේ ගොඩේ ගෑනු මිනිස්සු එකිනෙකා කොටවන්න කලේ කේලම් කියපු එක , කාලේ වෙනස් වුනා වගේ තාලෙත් අලුත් වෙලා දැන් කෙරෙන්නේ ස්ක්‍රීන් ෂොට් ගහලා තියාගන්න එක , ඔබටත් කා එක්ක හරි කතා කරපු දෙයක් ස්ක්‍රීන් ෂොට් කරලා පස්සේ පාවිච්චි කරන්න තියාගන්න හිතෙනවනම් ඔබත් අයිති දශක ගානකට එහා ගමේ සුමනාගේ කමලාගේ , ගුණවතී ගේ සෙට් එකටම බවත් දැනගන්න .
  • කාටහරි බනින්න , හින්ට් ගහන්න , ඕනෙනම් බුකියෙන් තොර වෙන සුදුසු මාද්‍යක් තෝරාගන්න , මොකද ඒක අදාළ කෙනාට පෙනෙන්න කලින් , ඔබ මොන වගේ කෙනෙක්ද කියලා ලෝකයටම පෙනෙන බව මතක තියා ගන්න .
  • බුකියට එනකොට ඇස් කන්නාඩි දෙක විතරක් නෙමෙයි මොළයත් අරගෙන එන්න , අනේ මගෙ පපුවේ හිලක් , මගේ නෝනා මලා , මගේ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් ඔයා වගේ , මගේ දුක අහන්න , කියල inbox එකේ තියන අධි සංවේදී කතාන්දර කියවා , ඒ සඳහා ක්‍රියාත්මක වීමට පෙර දෙතුන් වරක් බුද්ධියේ විමසීමට ලක් කරන්න .
  • ඔබ කසාද බඳින්න , ආදරේ කරන්න , කෙනෙක් හොයාගන්න බැරි තරමේ අහේනියකින් පෙලෙනවානම් , මංගල කිංකිණි අරන් බලන්න , බුකියේ ඉන්න එන්ජල් ලට , රොක්ස් ලට වහ වැටී නිරුවත් වෙලා පස්සේ චුරු චුරු ගෑමෙන් වලකින්න .
  • බුකිය වටේට මල් වතු , ගොම් බෙටි , කක්කා ගොඩවල් , කුණු බක්කි තොග පිටින් ඇත , මල් වත්තක් ළඟ නැවතිලා ලස්සන බලනවද , ගොම් බෙටි වලට පයින් ගහලා , කක්කා ගොඩවල් පාගාගෙන වටේම ගඳගස්සනවද කියලා ඔයාම තීරණය කරන්න , සමහර කුණු කරත්ත බලෙන් ඇඟේ වැදුනත් නොදැක්කා වගේ යන එක තමයි වඩා හොඳ , මොකද කුණු ගොඩවල් අවුස්සගත්තා කියන්නේ ඉතින් පළාතම ඉවරයි තමයි .
  • දැන් බුකියේ රියල් ඒවාට වඩා තියෙන්නේ ෆේක් අකවුන්ට් ,කියන දෙයක් කෙලින් කියන්න තරම් කොන්දක් නැති අඳබාල තරහකාරයෝ , ඉරිසියාකාරයෝ කරන්නේ ෆේක් එකකින් ඇවිත් දන්න ඔක්කොම කුණුහරප ටික ටයිප් කරලා , ඔබේ ප්‍රතිචාරය කොහොමද කියලා හැංගිලා බලන් ඉන්නවා ,ඒ වගේ වෙලාවට තමයි ” බ්ලොක් ” කියන option එක ඕනේ වෙන්නේ ..කෙනෙක්ට ෆේක් ගිණුමක් හදන්න විනාඩි 10ක් යනවනම් ඔයාට ෆේක් එකක් බ්ලොක් කරන්න වැයවෙන්න තත්පර දහයයි ..
  • මතවාද සමග ඇතිවන සංවාද වලදී ගෙදර ඇඳ ගැන , නෝනගේ නහය ගැන , මහත්තයාගේ රස්සාව ගැන , පුද්ගලික ප්‍රහාර එල්ල කරගෙන එන මතයක් නැති ඌරන් සමග ගැටීමෙන් වැලකීමට වග බලා ගන්න ..
  • facebook bullying දැන් ලෝකෙටම ප්‍රශ්නයක් , කව්රුහරි කල්ලි ගැහිලා , ඔබට විරුද්ධව සීමාවක් නැතුව මඩ ගහනවානම් පිළිතුරු දීමෙන් වලකින්න , නීතිය ක්‍රියාත්මක කරන්න .
  • නෝනාගෙන් ගුටිකාපු මිනිස්සු , මිනිහා පිට ගියපු ගෑනු , මානසික ලෙඩ්ඩු , අහිංසක මිනිස්සු , අසරණ මිනිස්සු , කපටි වංචාකාරයෝ , වගේම එක එක මානසික තත්ත්ව වල මිනිස්සු ඉන්න මේ බුකිය ඇතුලේ කව්රුහරි කෙනෙක් ඔයාට බැනලා කමෙන්ට් එකක් දැම්ම කියලා , ඔයාට අපහස කළා කියලා , කුණුහරප ටයිප් කළා කියලා , ෆේක් වලින් ඇවිත් ගේම ඉල්ලුව කියලා , රෑ නිදිමරාගෙන කල්පනා කරන්න දෙයක් නැහැ , මොකද වෝල් වල බුදු බණ , මංගල සුත්‍ර , දේව කරුණු හරි හරියට තිබ්බට , බෙහෙතකටවත් නරක මිනිහෙක් දකින්න නැති උනාට , ලෝකේ වැඩිම කාමය ගැන හොයන මානසික ලෙඩ්ඩුත් , ස්ත්‍රී දුෂකයොත් , අපරාධකාරයොත් , වංචාකාර ගැහැණුත් , අපේ රටේ කොච්ච්ර ඉන්නවද කියලා පත්තරයක් ගත්තම පේනවා නේද ? ඉතින් ඔය සෙට් එකෙන් බහුතරයක් රහත් භාවය ලැබූ දර්මිෂ්ට මිනිස්සු වගේ තමයි බුකිගතවෙලා ඉන්නේ ..
  • ඒ නිසා පරිස්සමෙන් ..
  • රිලැක්ස් එකේ ජීවත් වෙන්න බුකිගත වෙනවා මිසක බුකිය ජීවිතේ කරගන්න තරම් මෝඩ වෙන්න නම් එපා..
  • කාගෙ යහපත් වෙනුවෙන් ලියන්න , දැනුම බෙදන්න , හෝ පොඩ්ඩක් relax වෙලා යාලුවෙක් එක්ක chat එකක් දාන්න බුකියට ඇවිත් , හිතේ තියන සතුට සැනසුම නැතිකරගෙන හිටියටත් වඩා අවුලෙන් නිදාගන්න යනවනම් , ඔබ පරාදයි ..
  • සීමාව දැනගෙන උත්තර දෙන්න , වැඩිපුර විශ්වාස නොකරන්න , පුද්ගලිකත්වය සීමා කරගන්න , අනවශ්‍ය නොගැලපෙන ප්‍රහාර අපහාස සත පහකටවත් මායිම් නොකරන්න , ඔබට ඔබ වීමට ඇති අයිතිය අනෙකාටත් එසේම අයිති බව තේරුම් ගන්න ..
  • කාටහරි පිටිපස්සෙන් ෆේක් එකකින් ඇවිත් අංචියක් ඇදලා මඩක් ගහලා ඉස්සරහින් ඇවිත් හොඳ මූන පෙන්නන වෙස් මුහුණු කාරයෝ බුකියේ බහුල බැවින් ෆේක් නාටක වලට ෆයර් වීමෙන් වළකින්න .
  • ඔබට කියන්නට තියෙන්නෙ කාගෙ හරි වරදක් අඩුපාඩුවක්, කැතක්, අපහසයක් නම් ඒ කට වහගෙනම ඉන්න,
  • බුකි වාසීන් 10දෙනෙක් ගෙන් ඔබේ නම ඇසූ සැනින් 9දෙනෙක්ම “අප්පෝ එයා නම් අරහං, මෙලෝ රහක් නෑ කියල කියනවනම්, බොහෝ විට ඔබෙන් කාටවත් වෙන යහපතක් නැහැ, ඒ නිසා වචනෙකින් හරි සමාජෙට වාතයක්, ලෙඩක්, වීමෙන් වැලකී සිටින්න උත්සහ කරන්න.

බුකිය කියන්නේ අමුතු තැනක් , දිව්‍ය ලෝකය අපාය දෙකම එකට තියන තැනක් , ඇතුවත් බැරි නැතුවත් බැරි තැනක් ,

ඒ නිසා සැනසීම හොයාගෙන බුකිගත වෙලා වැනසීම ලඟා කරගන්නවාට වඩා , රෙද්දක් පොරෝගෙන නිදාගන්න එක හොඳයි ..

තීරණය ඔබ අතේ …

ඇතුලත් විය යුතු තවත් කරුණු තියනවනම් කමෙන්ට් කරන්න

අනිශා ජයකොඩි

Anisha Jayakody