සමහර දෙමව්පියෝ කියන අය හිතාගෙන ඉන්නෙ,බත් පිඟන් තුනයි, ඇඳුම් දෙක තුනයි අරන් දුන්නම දරුවන්ගේ සියළුම අයිතිය තමන් සතුයි කියලා,

ඊයෙත් එහෙම හිතපු ගම්පොල පැත්තේ කෙනෙක් බාප්පා එක්ක එකතු වෙලා තමන්ගෙ දුවට ගහලා, හිමින් නෙමෙයි පණ යනකම් ගහලා (22 අරුණ පුවත්පත )

තමන්ගෙ දරුවෝ කියන එකේ තේරුම තමන්ගෙ උවමනාවට, තමන්ගෙ ශුක්‍රානු, ඩිම්බ වලින් ලෝකෙට බිහිවුන ජීවියෝ කියන එක මිසක්, තමන්ට ඕන විදිහට හසුරවන්න,පාවිච්චි කරන්න, ගහන්න තලන්න, තියන අයිතියක්‌ එහෙම නෙමෙයි.

දෙන්නා දෙමහල්ලන්ගේ උවමනාවට ලෝකෙට බිහිකරලා, කිරියි බතුයි දුන්නා කියලා බාප්පා එක්ක එකතු වෙලා ගැහැණු දරුවෙක්ට මැරෙනකම් ගහන්න,තරම් අමනුස්ස මිනිස්සු ඉන්න සමාජයක දරුවන් වෙන එකත් පුදුම පාපයක්.

අද මේ දරුවා වගේ ජීවිතයෙන් වන්දි නොගෙව්වට, දෙමාපියන්න් නිසා දුක් විඳින, අත පය තැලෙන,ශාරීරික මානසික වද වේදනා විඳින දරුවො හැම තැනම ඉන්නවා.

මගෙ දරුවට මට ගහන්න බැරිද, හදාගන්නනෙ ගහන්නේ, මාස දහයක් බඩේ තියන් කොච්චර දුක් වින්දද, ළමයි ලොකු කලේ දුක් විඳලා ඉතින් ගහලා හදාගන්න බැරිද,ඔය වගේ එක එක අහේතුක හේතුකෑලි කොන් වලින් අල්ලගෙන දරුවන්ට රිද්දන එක සහ ඒක සදාරණීකරණය කරන අයට දෙමව්පියෝ කියන්න බෑ ,උන් එක්තරා විදිහක බිස්නස් කාරයො.

කිරි දුන්නා, බඩ දුන්නා, බත් දුන්නා කියලා මැරෙනකම් අපිට ගෙවහන්, අපිව බලහන්, අපිට ඕන දේ විතරක් කරහන්,කියලා වන්දි ඉල්ලන ඔය වගේ පාපකාරී බිස්නස් කාරයෝ වගේම ඒ වගේ අයට අනේ පනේ කිය කිය උඩගෙඩි දෙන පිරිසකුත් අපි අතරෙම ඉන්නවා.

මේ ලඟදි මම අහම්බෙන් එක වීඩියෝ එකක් දැක්කා, ප්‍රසිද්ධ ලේඛක සමන් එදිරිමුණිගේ තාත්තා ගැන,

කව්ද යූ ටියුබර් කෙනෙක් පාරක් අයිනේදී එදිරිගේ තාත්තව හොයාගෙන,

මේ ඉන්නෙ එදිරිමුණීගේ තාත්තා එයා, එයා පව්, එයා දුක් විඳිනවා, පුතා කෝල් කරනවද, පුතා ඔයා ගැන බලනවද,කිය කිය පුල පුළා මේ කෙනා අර වැඩිහිටිගෙන් අහ අහා සමන් එදිරිමුණි තාත්තට සලකන්නෙ නෑ කියලා වක්‍රව සමාජයට කියන්න උත්සාහ කරනවා.

ඒක බලපු අපේ අය, අපෝ තාත්තට නොසලකන පුත්තු, ඔහොම පුත්තු අපායේ යනවා, එදිරි පුදුම මිනිහෙක්නේ කියලා කමෙන්ට් අස්සේ සමන් එදිරිමුණිගේ පලු ඇරලා තිබ්බා.

“කව්දෝ කෙනෙක් මගෙ තාත්තව හොයාගෙන තිබ්බා, මං අපේ අයියට ඒ විඩියෝ එක යවල අයියගෙන් ඇහුවා ඒ අපේ තාත්තද කියලා අයියා කිව්වා “ඔව් “කියලා, ඉතින් එයා මගෙ තාත්ත වෙන්නැති, හැබැයි අපි පොඩිකාලේ අපා දුක් විඳිනකොට එයා කොහේද හිටියේ කියලා මම දන්නේ නෑ “කියලා. තමයි එදිරි අයියා ඒ ගැන උත්තර දීලා තිබ්බේ.

ඒ කථාවෙ ඇත්ත නැත්ත කොහොම උනත් එදිරි ට උන දේ වෙච්ච, වෙමින් පවතින දරුවෝ තව ඕන තරම් ඉන්නවා,එහෙම දෙමව්පියෝ ඕන තරම් ඉන්නවා,පොඩි කාලෙ දස වද දීලා ලොකු උනාම කිරිවල අයිතිය කියන, ජාතක අයිතිය කියන, පොඩි කාලෙ දස වද දීලා, උන් දිහා ඇහැක් ඇරලා නොබලා බැරි වෙලා වාරු නැති උනාම මව් පිය ගුණ කියා කියා ලෝකෙන් අනුකම්පාව ඉල්ලන දෙමව්පියෝත් ඕන තරම් ඉන්නවා.

දුවට අතවර කරලා, පුතාගේ අතපය කඩලා , දරුවෝ විකුණලා, අපේ දරුවෝ අයිති අපිටනේ කියලා කියන දෙමව්පියොත් අඩු නැතුව ඉන්නවා.

මේක ලියන මට,කියවන ඔයාට, හොඳ අම්මෙක් තාත්තෙක් ඉන්නවා කියන එකේ තේරුම මේ ලෝකෙ හැම දරුවෙක්ගෙම දෙමව්පියෝ අති උතුම් වන්දනීය අය කියන එක නෙමෙයි.

හැම අම්මා තාත්තම උතුම්, හැම අම්මම බුදු වේවා,කියන කථාව වැරදියි වගේම අසාදාරණයි.

තමන්ගෙ දෙමව්පියෝ උතුම්ද, වන්දනීයද කියලා තීරණය කරන්න අහල පහළ අයට, යාලුවන්ට අයිතියක් නෑ, ඒකෙ ඇත්තම තත්වය දන්නේ ඒ දරුවෝ.

සමහරක් දරුවෝ දෙමව්පියන්ව තදින් ප්‍රතික්ෂේප කරනවා , නොසලකා හරිනවා දැක්කම ඔයාට හෙන වදියි, ඔයා අපායේ යයි, මොනවා උනත් අම්මනේ, ඒ ඔයාගෙ තාත්තනේ කියන්න හදිස්සි වෙන්න එපා.සමහර විට පිට ඉඳලා බලන ඔයා නොදන්න එයා විතරක් දන්න මොකක්ම හරි කථාවක් එයාට තියෙන්න පුළුවන්.

කව්රුහරි දරුවෙක් දෙමව්පියෝන්ට වයිර කරනවානම්, නොසලකා හරිනවානම් ඒක ඇතුලේ ඔයා නොදන්නා තිත්ත කථාවක් තියෙන්න පුළුවන්.(නොතිබෙන්නත් පුළුවන් )

අන්න ඒ නිසා හැම අම්මටම අම්මා බුදු වේවා කියලා කියන්න හිත හදාගන්න බැරි පුතාල දුවලා මේ ලෝකෙ ඕන තරම් ඉන්නවා.

සරළවම කිව්වොත්,බඩෙන් එළියට දැම්මට, ශුකාණු අංශුවක් දුන්නට අම්මලා තාත්තලා වෙන්නෙ නැහැ.

දරුවෝ හැදුවා,කියන්නේ උප්පැන්නෙට නම දුන්න කියන්නේ ඒ එළියට ආපු ජීවියා ඔයාට මැරෙනකම් ගෙවන්න ඕනෙ ණයක් ගත්තා කියන එක නෙමෙයි.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙත්, බුදු වෙන්න ඕන ගෞරවණීය අම්මලා තාත්තලා අතර ගම්පොළ මේ අපරාධය කරපු මේ වගේ බලු වටින්නේ නැති තාත්තලා කියන මිනිස්සුත් අපි අතරේ ඉන්නවා.

දරුවෝ කියන්නේ තමන් විසින් ඉටු කල යුතු යුතුකමක්‌ වගකීමක් මිසක, තමන්ට ලැබිය යුතු, තමන්ගෙ හිතඟි පරිදි හැසිරවිය හැකි ලැබීමක් නෙමෙයි කියලා හැම අම්මා තාත්තම ආයෙ ආයෙත් මතක් කරගත්ත නම් හොඳයි.

(සැයු – මෙම ළිපිය කියවා මට මව් පිය ගුණ සිහිකර දීමට වෙහෙස වීමෙන් වලකින්න.ඒ ගැන මම වෙනම ම ලියන්නම් )

අනිශා ජයකොඩි