නොගැලපෙන ප්‍රේමයට තිත
කාන්ති ඇන්ටි :-
ආ… රොෂානි දුව ,මොකද අද තනියම වැඩ ඇරිලා ..මන් ඒත් අහන්නමයි හිටියේ .පහු ගිය ටිකේ අර අත්වැල් අල්ලන් හවසට ගෙදරට ගෙනත් දාපු පිරිමි ළමය දැක්කේ නැහැනෙ ගොඩ දවසකින්.
රොෂානි :-
ආ.. කාන්ති ඇන්ටි ,ඔයා ඕක දෙතුන් දෙනෙක්ගෙන්ම අහල තිබ්බ නේද? එත් මන් කතාකරල හරි කියන්නමයි හිටියේ.ඒ පිරිමි ළමය දැන් එන්නේ නෑ .ඒ සම්බන්ධෙ ඉවරයි ඇන්ටි .
කාන්ති ඇන්ටි : –
අප්පෝ දරුවෝ ….ඕව සෙල්ලම් වැඩ නෙමෙයි.මුළු ගමම දැක්කනේ ඔය ළමය ඒ දරුවා එක්ක එහෙ මෙහෙ යනවා.අනික ඒ කොළුවා හරිම සීදේවි දරුවා .
රොෂානි :-
සීදේවි කම කසාද බඳින්න තරම් හේතුවක් නෙමෙයිනේ ඇන්ටි ..
කාන්ති ඇන්ටි :-
ගෑණු ළමයි සුදු රෙදි වගේ , කහට පැල්ලමක් ගෑවුනොත් ආයේ යැවිලි බොරු ..පුහ්හ්
දැන් ඔය ළමයා කොහොමද අයෙත් කසාදයක් කරගන්නේ ..?? ඔහොම ගවුම් මාරු කරනවා වගේ ඕව කරන්න බෑ.. ඔය ළමයගේ දෙමව්පියෝ උනත් ඉතින් සමාජෙට මූන දෙන්න ඕනෙනේ.ඔය ළමයින්ට ඕව තේරෙන්නේ නෑ ..අනික ඔය දුවගේ තාත්තා ගුරුවරයෙක් නේද ?
රොෂානි :-
මේ අහන්න ඇන්ටි..එයයි මමයි ගැලපෙන්නේ නෑ .ඒක අපි තේරුම් ගත්ත ඒ නිසා සම්බන්ධෙ නැවැත්තල දැම්මා එච්චරයි .
අනික අර සුදු රෙදි කතාව දැන් ගොඩක් පරණයි ඇන්ටි, කහට පල්ලම් යවන්න ඕන තරම් ක්‍රම තියනවා.අනික කහට නොගෑවුණු පිරිමි ළමයි දැන් කොහෙද ඉන්නේ ..තාත්ත ගුරුවරයෙක් උනා කියල මන් නොගැලපෙන කසාදක් කරගන්න ඕනේ කියල නීතියක් නෑනේ.
කාන්ති ඇන්ටි :-
ගැලපෙනවද නැද්ද කියල ඉතින් සම්බන්දකම් පටන් ගැන කලින් නේද හිතන්න තිබ්බේ ?
රොෂානි :-
ඒ කොහොමද? මූන දැකල කොහොමද ඇන්ටි මනුස්සයෝ තේරුම් ගන්නෙ ?ඒකට ඉතින් ආශ්‍රය කරලා බලන්න ඕනේ,.ඉතින් ආශ්‍රය කරද්දී තේරුණා ගැලපෙන්නේ නෑ කියල ,අපි නැවැත්තුවා ..
කාන්ති ඇන්ටි :-
අනේ මන්ද ..අපි නම් ඔහොම දේවල් කලේ නෑ .බැන්දට පස්සේ මොන ප්‍රශ්න , නොගැලපීම් ආවත් අපි නම් දුක්විඳගෙන හරි හැමදේම ඉවසගෙන ජීවිතේට මූන දුන්නා .ලෝකෙට ලැජ්ජා වෙන වැඩ කලේ නැහැ …
රොෂානි :-
ඔව් මූණ දුන්නා එකක් තනියෙන් ජීවත් වෙන්න හයියක් නැති හින්දා අනික සමාජෙට බයේ, ඒත් ඇන්ටිම හිතල බලන්න ඇන්ටි ජීවත් වුනේ සතුටෙන්ද කියල ? ඇන්ටි වගේ අඬන්නම බලාගෙන කසාද බඳින්න මට වුවමනාවක් නෑ .
අනික මේකත් මන් ඇන්ටිට කලින්ම කියන්නම්කො.කාන්ති ඇන්ටි මීට පස්සෙත් මාව තව එක්කෙනෙක් දෙන්නෙක් සමහරවිට ඊටත් වැඩියෙන් පිරිමි ළමයි එක්ක පාරේදී දැක්කත් ඒ ගැන වැඩිය හිතන්න එපා .මොකද මන් බඳින්නේ මට ගැලපෙන කෙනා. අහල පහල අයටවත්, සමජෙටවත් ගැලපෙන කෙනා නෙමෙයි.එයා ඊළඟ කෙනා වෙන්නත් පුළුවන්. පස්වෙනි කෙනා වෙන්නත් පුළුවන්. එහෙම කෙනෙක් හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන් …හොඳේ.
ජීවත් වෙන්න විදිහක් නැති හින්දා , මිනිහෙක්ව බැඳගෙන තුන් වේල බත් කාලා , දහ වේලක් ගුටි කාලා , වතුර වෙනුවට කඳුළු බොන්න හිතාගෙන කසාද බැන්දේ ඒ කාලේ ඇන්ටි , තමන්ව බලාගන්න පුළුවන් ආර්ථික හයියක් තියන ගෑණු , පිරිමින්ටත් හයියක් වෙලා ගැළපෙන කෙනක් එක්ක ජීවිතේ විඳිනවා මිසක් , ජීවත්වෙන්න විදිහක් නැති නිසා අහුවෙන එකාව කසාද බැඳගෙන අංගවිකල ජීවිත ගත කරන්නේ නැහැ ..
……………………….
පීනන්නට නම් වතුරට බහින්නටම වෙයි ,ප්‍රේමය ගැන පාඩම් ඉගනීමට ප්‍රේම කිරීමටම වෙයි ,අන් සියල්ලක් මෙන්ම අපේ සිත් පවා මොහොතින් මොහොත වෙනස් වෙයි..අපි අපිව තේරුම් ගන්නා පරිමානයේ තරමට අපිට ගැළපෙන කෙනා කොහොම කෙනෙක්ද කියා තේරුම් යයි ..
හෝමෝන වෙනස් වීම පටන් ගත්ත ගමන්ම අමුතු හැඟීම් දැනිලා ජෙල් ගාපු හිස් කබලකට , ලස්සන කටහඬකට , ඇතිවෙච්ච ආකර්ශනයක් ප්‍රේමය යයි වරදවා වටහා ගෙන ඒක සම්බන්ධයක් දක්වා දුර දිග ගියා විය හැකියි ..
හැබැයි රැකියාවක් එහෙම පටන් අරගෙන අවුරුදු 25ක් විතර යනකොට තමයි ජීවිතේ කියන එක බොක්කට දැනෙන්න පටන් ගන්නේ ..
තමා කව්ද, තමාගේ අවශ්‍යතා මොනවාද? ජීවිතයේ අරමුණු මොනවාද, තමාට වඩා වැදගත්ම වන්නේ කාර් ගෙවල් වගේ භවුතික සැප සම්පත්ද ? එහෙමත් නැත්නම් මානසික සැපද කියා තමන්ට හොඳින්ම තේරෙන්න ගන්නේ ඒ කාලේදී තමයි…
කාර් , ගෙවල් , සල්ලි අස්සේ ජීවිතයේ සතුට හොයන කෙනක්ට , ඉතා සංවේදී පට්ටම අවංක ආදරණීය පෙම්වතෙකු ලැබීමත් , සංවේදී ආදරණීය ප්‍රේමයක් බලාපොරොත්තු වෙන කෙනක් , කෝටිපති වියාපරිකයෙක් ව කසාද බැඳීමත් දෙකම හරියට අයිසින් කේකුයි බෝල්ට් ඇණ යි වගේ , කිසිම ගැලපීමක් නැහැ , දෙගොල්ලොම අසතුටෙන් ..ඒ වගේ වෙළාවට ඇත්ත තේරුම් අරගෙන දෙපැත්තට වෙනවා මිසක් ලෝක ලැජ්ජාවෙන් බේරෙන්න පොතේ අත්සන් කරන එක හරියට නෙක්ටො එක්ක මී පාසානම් බිව්වා වගේ තමයි …ඉතුරු වෙන්නේ මැරෙනකන්ම විඳවීම විතරයි ..
අනික ,
සියල්ලන්ගේම ප්‍රථම ප්‍රේමය එකම ප්‍රේමය විය යුතු නැහැ ..වගේම,
සෑම පෙම් කතාවක්ම විවාහය දක්වාම යා යුතුත් නැහැ .
කෙනෙක්ට මිලදීගන්න ප්‍රථම ලොතරයියෙන්ම දිනුමක් ඇදිලා තවත් අයෙකුට 5 වැනි එකෙන් දිනුමක් ලැබිලා තවත් අයෙක්ට කොච්චර හීරුවත් ජීවිත් කාලය පුරාවටම සත පනහක් වත් නොලැබී යා හැකිය …විවාහය සහ පෙම් සබන්ධතාද එසේමය ..
තම දෙමව්පියන්ට ඉතා හොඳ පුතෙකු, මිතුරන්ට ඉතා සුහද මිතුරෙකු, සමාජයට ගව්රවනීය මිනිසෙකු වූ පමණින්ම ඔහු විවාහයේදී ඔබට හොඳ සැමියෙකු නොවිය හැකිය. ඒ නිසා කෙනෙකු දුටු අනේ හොඳයි කියා සිතා ආශ්‍රය නොකර විවාහය ගැන ගන්නා තීරණවල අනතුරු දායකබව ඉතා ඉහලය ..
අයියෝ දැන් පරක්කු වැඩියි.
මේ සම්බන්ධෙ දුරදිග ගියා වැඩියි.දැන් එයා ඔහොම උනාට බැන්දට පස්සේ බොන එකක් නැහැ , බැන්දට පස්සේ නරක පුරුදු නැති වෙයි , බැන්දහම හැදෙයි .. ඔය වගේ අසම්බාව්‍ය ක්‍රියා ගැන විස්වාශයෙන් අවදානම් විවාහයකට බැඳෙනවට වඩා , හිතට බම්බු ගහගන්න කියලා මොළේට අවනත වෙන එක තමයි හොඳම දේ .. කසාදෙ කියන්නේ හදන්න බැරි එවුන් හදන ඉස්කෝලයක් නම් නෙමෙයි ,මොකද දෙමව්පියන්ට , ගුරුවරුන්ට හදන්න බැරි වෙච්ච මෝරපු මිනිස්සුන්ව මුල ඉඳන් හදන්න හිතාගෙන බැඳපු මිනිස්සුන්ට සැනසීම වෙනුවට ඉතුරු වුනේ වැනසීම විතරයි ..
මාස දෙක තුනකින් විරහව රහක් බවට පෙරළිලා , තව ටික කාලෙකින් මතකයක් විතරක් වෙලා යනවා , හැබැයි නොගැලපෙන විවාහයක් නිසා උරුම වන දුක් සහිත ජීවිතය නම් මැරෙනකම්ම විඳව විඳවා ඉන්නම වෙනවා .
දෙමව්පියන් , මිතුරන්, සමාජය,සියල්ලන්ගේ සතුට වෙනුවෙන් බැන්දට ජීවිතයට් අමුහුණ දෙන්නේ වෙන්නෙ ඔයාට තනියම තමයි ..
නොගැපෙන විවාහයක් අතහැර දැමීමට ඕනෙනම් කසාදෙට කලින් දවස උනත් පරක්කු නැහැ .මොකද සමාජයට ඕනෑම මාතෘකාවක් වැදගත් වෙන්නේ දවස් දෙක තුනක් විතරයි , අළුත් මාතෘකාවක් ආපු ගමන් ඔයාගේ කථාව අමතකයි ..
ඒ නිසා නොගැපෙන සම්බන්ධතා වලට තිතක් තියලා බායි කියන්න පරක්කු වෙන්න ඕනේ නැහැ ..
සරළවම නම් ,
පෙම්වතා හෝ පෙම්වතිය ගැළපෙන්නේ නැහැ , ගලපන්නත් බැහැ කියල තේරෙනවනම් බය නැතුව එක තිතක් නෙමේ තිත් පේලියක්ම තියන්න ..
සමාජයට , මිතුරන්ට , අසල්වැසියන්ට ඔබේ විවාහය අදාල වෙඩින් එක දවසට විතරයි .. ඒ නිසා ලෝකෙට පේන්න නෙමෙයි තමන්ට දැනෙන්න විවාහ වෙන්න ..
හදිස්සියේ විවාහ වී නිවීසනසිල්ලේ පසුතවෙනාවාට වඩා ,හදිසියේ අත හැර දමා නිවී සැනසිල්ලේ ඔබට සතුට ගෙන ආ හැකි නියම සුදුස්සා හොයා ගැනීම තමයි හොඳම දේ …
ප්‍රේමය…
ඔබට එන්න ඕනෙනම් ඔබ එන්න ,
නැවතීම පළක් නොවෙන බව දැනුනු නිසා ..
යන්න ඕනේ නම් යන්න.
නමුත් ,
කරුණාකර මගේ හදවතේ මාර්ගය අවහිර කරමින් දොරකඩට වී නොසිටින්න ,
මන්ද එය සුදුසුම කෙනාගේ පැමිණීමට බාධාවක් විය හැකිය..
අනිශා ජයකොඩි