තරහ එනවා වැඩියිද ?

අද රටේ මේ වෙන දේවල් වල හැටියට තරහ එන්නේ නැත්තම් තමයි පුදුම,

ඒත් ඉතින් තරහව කියන්නෙ, ලඟින් තියාගන්න එච්චරම හොඳ දෙයක් නම් නෙමෙයි

කෙනෙක්ට තරහව දැනෙනවා කියන එක ලෙඩක් වත් සුවිශේෂී කාරණාවක් වත් නෙමෙයි ,

හදවත , පෙනහළු ,සහ ස්වසන පද්ධතිය මොළයේ අභ්‍යන්තර ක්‍රියාවලිය එක්ක එකතු වෙලා , දනවන හැඟීමකට ප්‍රතික්‍රියාවක් විදිහට හැමෝටම, තරහ කියන හැඟීම දැනෙනවා ,මිනිස්සුන්ට විතරක් නෙමෙයි පණ තියන සියළුම සත්වයින්ට මේක පොදුයි ..

ඒ මොන දේ උනත් ” තමන් නොවන ඕනෑම වෙනත් අයෙකුගේ ක්‍රියාවක් වචනයක් ,හෝ තමාට පාලනය කරන්න බැරි සිද්ධියක් හේතුවෙන් ඔබ තරහ අරගෙන , ඔබේ සතුට සැනසීම,විනාශ කරගන්න එක නම් අමුම අමු ගො.න් කමක් ..

තරහ කියන හැඟීම ඔයාට ක්ෂණිකව දැනුනට , ඒක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි , ඔයාගේ මුළු ශරීරයම හෙනම හෙන ගේමක් දීලා , මහන්සි වෙලා තමයි ,ඔයාට ඔය තරහව හදලා ගෙනත් දෙන්නේ , ඉතින් ඔයා නිතර නිතර තරහ ඉල්ලනකොට , ඇඟේ parts උනත් අනවශ්‍ය විදිහට ක්ෂය වෙනවා , ලෙඩ දෙන්න බලනවා , මොළය අකමැති දේවල්ම බලෙන් දෙන්න ගිහාම මොලේට එපා වෙලා , එයත් මන්දගාමී වෙනවා ..ස්වසන පද්ධතියටයි , ස්නායු පද්ධතියටයි ඕනවට වඩා වැඩ දීපු නිසා ආහාර ජීර්ණ පද්ධතිය ඔයත් එක්ක ගේමට එනවා ,

ඔයත් නොදැනී , ඔයාගෙ අභ්‍යන්තරය ඔයා එක්ක අමනාප වෙනවා ඒකෙ ප්‍රථිපල විදිහට ,අධි රුධිර පීඩනය , හදවත් රෝග , මානසික අසහනය ,ස්වසන ආබාධ , විෂාදය , හිසරදය , ප්‍රතිශක්තිකරණය හීන වීම , මේනියා , අමතක වීම , හීන්නෝමාදය වගේ දහසකුත් ලෙඩ වලට පාර හදන්න බලනවා ..

තමන්ට පාලනය කරන්න බැරි දේවල් නිසා හෝ මොනම දේ නිසාම හරි තරහ ගන්න එක හරියට ඔයා වහ බීලා වෙන කෙනෙක් මැරෙනකම් බලන් ඉන්නවා වගේ , හෙනම හෙන මෝඩ වැඩක් ..

මේ තියන ප්‍රශ්න මදිවට, ඇඟේ අවයව ටික ලෙඩ කරගන්නවා කියන්නෙ, පණ යන වැඩක්..

ඒ නිසා, රටේ ලෝකෙ මේ වෙන දේවල් දැකල දරාගන්න බැරි තරහක්, ආවේගයක් ආපු වෙලාවට, අඩු ගානේ තමන්ගේ ආදරණීයයන් ගැන හිතලා හරි තරහ නොගෙන ඔය පහළ තියන දේවල් වලින් එකක් දෙකක් කරලා සන්සුන් වෙන්න.

දන්න ගානක් එක දිගට ගණන් කරන්න

කණ්නාඩියක් ලඟට ගිහින් තනියම හිනා වෙන්න .(හිනා යන්නේ නැත්තම් ඔහේ ඔයා දිහා බලන් ඉන්න )

සංගීතයට සවන් දෙන්න.

මාළු ටැංකියක් දිහා බලන් ඉන්න.

වාහන යන මාවතක් හෝ මිනිසුන් ඇවිදින උයනක් දිහා බලා ඉන්න.

දිග නින්දක් නිදාගන්න.

තරහ හොඳටම වැඩිනම් මුකුත්ම නොකියා නිහඬ වන්න.

කාමරයක තනිවන්න – ඔබගේ සිතුවිලි නිදහසේ කඳුළු වලින් දිය කරන්න බලන්න.

හයියෙන් ඇවිදින්න – සියලු ශක්තිය යොදා කඩිසරව ඇවිදීමෙන් අවේගයේ වේගය අඩු කරවන්න.

ලෝකේ තියන දරුණුම වචන ටික තනියම කියන්න – තරහ ආපු සිද්ධිය හෝ කෙනා සිතින් මවාගෙන දන්න ඔක්කොම කියලා තනියෙන් බනින්න , මිනී මරලා හිරේ යනවට වඩා කුණු හරප කියලා තරහ යවන එක හානිය අවමයි ..

තනියෙන් හයියෙන් අඬන්න – කඳුළු කියන්නේ පීඩනය පිටකිරීමේ සාර්ථකම ක්‍රමයක් ,

තරහ එක්ක සිතට දැනුන සියල්ල ලියන්න ,( මට හිතෙනවා පොල්ලෙන් ගහන්න , මට ඕකව පේන්න බැහැ … ) ලියලා ඉවර වෙලා තව එක සැරයක් කියවලා ඉරලා දමන්න , ඔයා ඒ ක්‍රියාව ක්‍රියාත්මක කළා වගේ සහනයක් දැනෙනව වගේම කිසිවෙකුටත් හානියක් නැහැ )

ඔයාගේ ධනාත්මක වටිනාකම් ඔයාට මතක් කරලා දෙන්න – ඔයා කව්ද ඔයාට තියන වගකීම් වගකීම් මොනවද ? සමාජ මට්ටම , තනතුරු , නිලතල වැනි ධනාත්මක දෑ ක්ෂණිකව සිහියට ගන්න ,එවිට ඉක්මනින්ම නැවත සාමකාමී ඔයාව ඔයාට හමුවෙයි ..

ආවේගයක් පීඩනයක් තරහක් ආ විට බොහෝ විට ඔයාට ඔයා කව්ද කියලත් අමතක වෙනවා , සියල්ල අවසානයේ ප්‍රතිපළ ඉස්සරහදි තමයි ආයෙත් තමන් කව්ද කියලා මතක් වෙන්නේ ඒත් ඉතින් එතකොට පෙරහැර ගිහින් , බලන්න ආපු අයත් ගිහින් ඉවරයි .. ඒ නිසා තරහ මග එනකොට ඔයාගෙ bio data එක ඔයාම කියවගන්න ..

මේ කිසිම දෙයකින් තරහ නිවිලා යන්නෙම නැත්තම් අදහන ආගමට ලං වෙන්න ජීවිතයේ යථාර්තය සිහියට ගන්න..

විනාඩි ගානකින් තරහවේ උපරිමය හීන වෙලා ගියාට පස්සේ ආයෙත් පස්සට ගිහින් සිද්ධිය දිහා අලුතෙන් බලන්න ,තරහ ආපු කාරණාව හිතෙන් විමසන්න , ගොඩක් වෙලාවට ක්ෂණිකව මරන්න කොටන්න තරම් තරහ දැනුන සිද්ධියක් දවසක් දෙකක් ගිහින් හිතලා බලනකොට , සත පහක වැඩක් නැති හිනා යන ළාමක සරළ සිද්ධියක් විතරයි ..

බොහෝ මිනීමැරුම් වල , අපරාධ වල , මූලය හොයාගෙන පස්සට ගියොත් , මරන්න , කොටන්න හේතුව හොයාගන්න කරපු කෙනාට තියා නිව්ටන්ටවත් බැහැ ,

තරහ කියන්නේ කිසිම තේරුමක් නැති වේගයෙන් එන ආවේගයක් ,හැබැයි මොන තරම් අකමැති උනත්,

තරහ අපි හැමෝම ලඟට එනවා ,ඒ වේලාවට ,

නොදැක්ක වගේ සත පහකට ගණන් නොගෙන ආපු විදිහටම යන්න දෙනවද ,මනසේ දොර ඇරලා එයාව ඔලුවට අරගන්නවද , බුද්ධියට අඬගහල වැඩේ බුද්ධියට බාරදෙනවද , නැත්තම් තරහව ආදරෙන් පිළිඅරන් හදවතතේ ඇතුලටම යන්න දීලා , එයාට ඕන විදිහට

ඔයාව මෙහෙයවන්න දීලා , නිවී සැනසිල්ලේ පසු තැවෙනවද කියල ඔයා තීරණය කරන්න ..

අනිශා ජයකොඩි