මිනිස්සු විදිහට අපි හැමෝටම තියෙන්නෙ එක සමාන මුලික අවශ්‍යතා ටිකක්, හැබැයි අපේ හැකියාව අනුව ඒ අවශ්‍යතා ඉෂ්ට කරගන්න වෙනස් වෙනස් ක්‍රම යොදාගන්නවා, දුප්පත් කෙනෙක් බෙලෙක් පිඟානක සම්බෝලයි බතුයි කනකොට කෝටිපතියෙක් ජපන් පළඟනාවක fried rice කනවා, හැබැයි දෙන්නම කරන්නෙ බඩ පුරෝගන්න එක, ක්‍රමය විතරයි වෙනස්..

මොනව කොහොම කෑවත් සමහරුන්ට අලයක් තරම් වත් මොලයක් නැහැ, තමන් කන බොන අඳින පළඳින යන එන විදිහ අනිත් අයට වඩා ටිකක් වෙනස් නම් ඔළුවත් ටිකක් වැඩිපුර ඉදිමෙනවා..

ඊට පස්සෙ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා තමන් හර බර මිනිස්සු බව ලෝකෙට පෙන්නන්න පුදුම උත්සහයක් දරනවා..

ඔය මහන්තත්වකමට හීනමානයෙන් ටිකකුත් එකතු උනා කියන්නෙ ඉතිං තත්වෙ හොඳටම දරුණු වෙනවා..

අන්තිමට උන් ජීවත් වෙනවා කියල කරන්නෙ ලෝකෙට පේන්න තමන්ව මේන්ටේන් කරන්න උත්සාහ කරන එක විතරයි..

දරාගන්න බැරි තරම් අමාරුවෙන්. බරට බරේ උත්සාගෙන යන බොරු ආටෝප වල හිස් බර නිසා බෙල්ල කඩාගෙන හතර ගාතේ දාලා බිම වැටෙනකම් තමන්ම දන්නෙ නැහැ…

සමහර මිනිස්සුත් හරියට ඉස්සො වගේ.කොන්දක් නෑ, හයියකුත් නැහැ, ඒ හැටි ගුණේකුත් නැහැ,.. කොටින්ම කිව්වොත් පැවැත්මකුත් නැහැ, පැයක් දෙකක් යද්දී කුණු උනාම පළාතම ගඳයි..

හැබැයි ලේසියෙන් කෙනෙකුට ලංවෙන්න බැරි තරම් පට්ටම පට්ට ගණන්..

ඇත්තම කිව්වොත්, ඔළුව ඉදිමීම කියන්නෙ හරිම භයානක ලෙඩක්, එක පාරටම ඔළුව බරයි වගේනම්, තමන් පොරක් කියල නිතරම හිතෙනවනම්, තමන් විතරයි හරි කියල හිතෙනවනම්, අනිත් අයගෙන් නිතරම තමන්ට සාදු කාර ඇහෙයි කියල හිතෙනවනම්.. ඒ ඔය ලෙඩේ ආරම්භය විය හැකියි..

දැන්ම බෙහෙත් කරන්න ගත්තොත් හොම්බ බිම ඇනෙන්න කලින් හොඳ කරගන්න පුළුවන් වෙයි..

(මේ පහළ පොටෝ එක දැක්කම මේ ටික නොලියා මොකටද කියල හිතුණා. )

අනිශා ජයකොඩි