මැරෙන්න ලෑස්ති වෙලා ජීවත් වෙන්න

ඒ අගෝස්තු මස ඉරිදා දිනයකි.දන්නා හඳුනනා පවුල් කිහිපයක් සමග පාර්ක් එකක සතුටු සාමිචියේ යෙදී එලියෙන්ම රෑ කෑම කා ගෙදර එන විට රෑ 11 පමණ වී තිබුණි.කෙල්ල ඇඟ සෝදා නිදී කරවන ලද්දේ අප්පච්චි විසින්ය .සුපුරුදු පරිදි ගෙදර සියලු වැඩ අහවර කර , ඇඟ සෝදාගත්තේ රාත්‍රී 12 කනිසමේදීය .

සැහැල්ලුවෙන් ඇඳේ ඇලවුණු මට කිසිදිනක නොදැනුනු පපුවේ අපහසුතාවයක් සමග හුස්ම හිරවීමක් දැනුනි .එය මා මිට පෙර නොවිඳි අලුත් අපහසුතාවයක් වුනු අතර ඒ සමගම පපුවේ ගැස්මේ වේගය සීග්‍රයෙන් ඉහල යාමක් සමග හුස්ම හිරවීමක් දැනුණි .

මට වඩා කලබල වී දඟලන මගේ සැමියාව අතින් නිශ්ශබ්ද කල මා සියල්ලේදී මෙන් රෝග ලක්ෂණ අනුව ලෙඩේ කුමක් විය හැකිදැයි google එකෙන් සෙව්වේය .

එය හදවත සම්බන්ධ රෝගයක් විය හැක .heart attack එකක්ද විය හැක.

අපේ පරම්පරාවක හදවත් රෝගීන් සිටි වගක් මම අසා නැත .

දියවැඩියාව ,කොලෙස්ටරෝල් ,ප්‍රෙෂර්, ඒ කිසිම ලෙඩක් ගැබිණි සමයේ වත් මා විඳ නැත.

google ට අනුව ac ,fan සියල්ල on කර ,සැහැල්ලු හුස්මක් ගෙන අත පය සැහැල්ලු කර මම heart attack එකකට පෙර සුදානම් විය.

ඒ අතර දඩ බඩ ගා අඩුම කුඩුම ටිකත් කෙල්ලත් ලැස්ති කරගත් ඔහු වදෙන් පොරෙන් විනාඩි කිහිපයක් ඇතුලත මා රෝහලට රැගෙන ගිය අතර ඒ වන විට මගේ හදවතේ ගැස්ම මට දරාගත නොහැකි වී මා කලාන්ත ගතියකට පත්වී තිබුණි .

දැන් බය විය යුතු නැත .මා ඉන්නේ ලොව දියුණුම වයිද්‍ය පහසුකම් ඇති රටක රෝහලක් තුලය.සිංගප්පුරුවේ රෝහල් වල ස්වාභාවය ගැන කතා දෙකක් නැත.ඒ ගැන වෙනමම ලිවිය යුතුය.

ලෙඩ්ඩු කලබල උනාට දොස්තරලා කලබල වෙන්නේ නෑ කියා කතාවට කිව්වට මට වඩා කලබල උනේ දොස්තරලා ටිකය.ටික කිව්වට පිරිස හා දොළොස් දෙනෙක් මා වටේය .

ඒ අසල කඳුළු බෝල පුරෝගෙන ජීවිතේ කිසිදිනක නොදුටු ශෝකයක් සහ අසරණ කමකින් යුතුව මන් දෙසම බලා සිටි මගේ ප්‍රියතම පුද්ගලයා මගේ සැමියා සහ කඳුළු බේරමින් අප්පචිට තුරුල් වී හඬනා මගේ සිඟිති දියණියත් මට පෙනේ .

මම හොඳින් යයි ඔවුන්ට කියා ඔවුන් සැනසීමට මට උවමනාය.නමුත් මට හිස එසවීමට තරම් වත් පණක් නැත .

හදවතේ වේගය 240-260 දකවා ඉහල යයි.ලබා දුන් කිසිඳු බෙහෙතකට එය පාලනය නොවුණු අතර ,මේ අහඹු සිදුවීම නිසා දොස්තරවරුන්ද උන්නේ තරමක තැතිගැනීමකින් බව ඔවුන්ගේ රැළි ගැසුණු මුහුණු සාක්ෂි දැරුවේය .

ඔවුන්ගේ කතා බහ ඉඟි බිඟි අනුව මට දැනුනු විදිහට මම ඉන්නේ ජීවිතේ බොහෝ අසීරු අඩියකය.එනම් ක්ෂණික මරණයක් ඉදිරිපිටය.

අපි ඔබ වෙනුවෙන් සියල්ල කරනවා.බය වෙන්න එපා . සන්සුන් වෙන්න .මේ බෙහෙත් වලට ඔයාට ඔයා පන අදින ස්වරුපයක් දැනෙයි ඒත් බය වෙන්න එපා.

මම හදවත් රෝග විශේෂඞවරයෙක් .හිත හයිය කරගන්න.ඒ කාරුණික තරුණ වෙදදුරා මගේ අත අල්ලාගෙන හිස අතගාමින් කිව්වේය.

ඒ නමුත් මට මරණය ලඟින් දැනුනි.

ජීවිතේ මන් වැඩියෙන්ම ආදරේ කරනා ඒ ඇස් හතරට උනත් වීදුරුවෙන් මෙහාටවිත් මගේ ලඟට එන්න බැරි බව මම දැන ගතිමි .

මම ඉතුරු කරපු සල්ලි, යාලුවෝ , දේපල ,ඒ කිසි දේකට මා වෙනුවෙන් මේ මොහොතේ කළහැකි කිසිවක් නැති බව මට ඇත්තටම දැනුනි.

ඉතින් මම යා යුතුව ඇත .මම හිත තද කරගතිමි.මේ සංසාරයේ එක පරිච්චේදයක අවසාන කොටසයි .

දැන් කලයුත්තේ සතුටින් මරණයට මුහුණදීමයි.

ඔව් මම සුදානම්.

ජීවත් වූ දශක තුනක කාළය තුල මා හොරකම් කර නැත, ගිනි ගෙඩි දී නැත .කියන්නට තිබුණු දේ අදාළ කෙනාටම කියා ඇත.

දෙමව්පියන්ට වදයක් වී නැත.දරුවා සැමියා වෙනුවෙන් කල හැකි සියල්ලම කල හැකි ප්‍රමාණයටත් වඩා සිදු කර ඇත .

දිය හැකි සියල්ල දන් දී ඇත.

මන් ජීවිතය දුන් මගේ දරුවා මා මටත් වඩා හොඳින් හඳුනන ඔහු විසින් මටත් වඩා හොඳින් බලාගන්නා බව මා හොඳින්ම දනිමි.

හැකි උපරිමයෙන් ජීවිතය වින්දෙමි .

සතුට සැනසිල්ල අත්දැක්කෙමි .

ඉතින් පසුතැවීමක් දැනුනෙවත් නැත .ඇත්තමයි .

ඔව් මන් සුදානම් ..ඉතින් ඇයි මට ඇඬේන් නැත්තේ ,ඉතින් ඇයි මට දුක නැත්තේ ,මන් කල්පනා කලා .මට මන් ගැනම පුදුම හිතුණි .

ඔව් මට මතක් උනා .

මන් හිතට එකඟව ජීවත් උනා .හුළඟට වැනි වැනී විඳව විඳව තැවී තැවී නොවිඳ ජීවිතේ වින්දා .මරණය මෙනෙහි කළා.මැරෙන බව විස්වාස කළා .

ඒ වගේම,

බුදුගුණ අරහන් නව ගුණ වේවා

අරහන් නවගුණ හද තුල වේවා

මරණෙදී මට කිසි බියක් නොවේවා

මරණෙදී මට බුදුගුණ සිහිවෙවා

අවරුදු 10 දී අම්මා කටපාඩම් කරවපු නවගුණ ශාන්තිය දවස ගානේ හේතුවක් ඇතුවත් නැතුවත් අද වෙනකම් මන් කිව්වා .

මැරෙනකොට මට මතක් වෙයි කියල හිතපු කිසි දෙයක් මට මතක් උනේ නැහැ .ඒ වෙනුවට ,

ප්‍රගුණ කරපු මෙනෙහි කරපු දේවල් ,මගේ යටි හිතත් එක්ක එකතු වෙලා මට පැහැපත් සැනසිලිදායක මරණ මන්චකයක් හදල දුන්නා.එතනින් එහාට මුකුත් මට මතක නැහැ.

………………………..

පැය කිහිපයකින් මට සිහිය ආවා .

ඔබේ හදවතේ හෝ ශරීරයේ කිසිඳු ගැටළුවක් නැහැ ඒක අහඹුවක් , හොඳින් විවේක ගන්න .ඒක හේතුවක් හොයාගන්න බැරි , sudden heart palpitation එකක් .අර තරුණ දොස්තර මහතා විශ්වාසෙන් කිව්වා.

අන් කවරදාටත් වැඩිය හොඳට ජීවිතේ තේරුම් අරන් මරණයත් විඳලා ඉතින් මන් ගෙදර ආවා.

…………………

ජීවිතේ කවදාවත් දැනුනේ නැති තරමේ ස්‌වයo තෘප්තියක් මට මන් ගැන එදා දැනුනා.

එදා මන් ඇත්තටම නොමැරුනත් ඇත්තටම මන් මැරෙන දවසට එදාටත් වැඩිය තෘප්තිමත් භාවයක් විඳින්න පුළුවන් වෙන්න ජීවත් වෙන්න මන් තදින් හිතා ගත්තා.

ලෝකේ සියල්ලම වෙනස් වෙනවා වගේ ඔබේ හදවතත් ,අනිත් අවයවත් එක පාරටම ඔබටත් නොදන්වා හේතු නැතුව වෙනස් වෙනවා .සමහරවිට ඒ අරන් එන්නේ මරණය වෙන්නත් පුළුවන් .

සුදානමින් ඉන්න. එදාට අනේ මන් දරුවෝ ලොකු කරලා, ගෙවල් හදල , මුණුබුරෝ බලල ඔක්කොම ඉවරවෙනකන් පොඩ්ඩක් ඉන්නකෝ කියල කියන්න බෑ ,ඉන්නකන් කරගත්ත ටිකත් හිතේ ඔතාගෙන හිස් අතින්ම ඔයාට යන්න වෙනවා .

මෙච්චර කල් මන් හිතන් හිටියේ ,අනේ මේ දෙන්න දාල කොහොම මැරෙන්නද කියල ,

මමත් දවසක මැරෙනවා කියල නිකමට හිතුනත් මට ජීවිතේ මන් වැඩිපුරම ආදරේ කරන ඒ ඇස් හතර මතක් වෙලා මොකක්දෝ කියාගන්න නොතේරෙන දුකකින් පපුව හිර උනා..

ඒ කොහොම උනත්, පුරුද්දට වගේ මන් නිතරම මරණය සිහි කළා .මම කොයි වෙලා හරි මැරෙන බව විස්වාස කළා. ඒ සියල්ලේ ප්‍රතිපල විදිහට මමත් නොදැනම මගේ යටි හිත මරණයට හුරු වෙලා තිබ්බා.

ජීවිතේට සාදාරණ වෙලා හිතට එකඟව ජීවත් වෙන මිනිස්සු මැරෙන්න බය වෙන්න ඕනේ නැහැ.

ලෝකෙට කොහොම උනත් තමන්ගේ හිතත් එක්ක ජීවත් වෙන්න ,හිතට එකඟව ජීවත් වෙන්න.එතකොට ඕන වෙලාවක බය නැතුව මැරෙන්න පුළුවන්.

මේ කොරෝනාව නිසා, වෙන කවදාටත් වඩා වැඩිය ලඟින් අපිට මරණය දැනෙන්න පටන් අරගෙන තියනවා, හැබැයි ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නෙ අනිත් අය මැරුණට තමන් මැරෙන්නේ නැහැ කියල,

හැම මොහොතකම කාට හරි ගිණිගෙඩි දීලා, ප්‍රශ්න ඇති කරවල හිත් රිද්දලා, දුෂ්ට කම් කරලා, සල්ලි පොදි ගගහ නොමැරෙන මිනිස්සු වගේ හැසිරෙන එක නවත්තලා, මරණය කියන නියත ධර්මය ගැනත් දවසකට සැරයක් හරි මෙනෙහි කරන්න පුරුදු වුනොත්, අපි කාට කාටත් මරණය , හිතන තරම් දුකක් වෙන එකක් නැහැ.

කාර් ගන්න,මාලිගා හදන්න, රට සවාරි යන්න සිහින දකින අතරෙම” මම දැන් මැරුනොත් “කියලත් නිකමට වගේ හිතෙන් මවා ගෙන බලන්න, ඔයාට පව් කරන්න , කාටවත් නපුරක් කරන්න හිතෙන එකක් නැහැ…

කරන්න තියන දේවල් වැඩිය කල් නොදමා යුතුකම් වගකීම් පුළු පුළුවන් විදිහට කරලා මේ ගතවෙන මොහොත වෙනකම් සංසාර ගණුදෙණු සාදාරණ ව පියවල දාලා ලෑස්ති පිට ඉන්න එක ඉතිං කෝකටත් හොඳයි නේද ??

නිකමට වගේ හිතට තට්ටු කරලා බලන්නකෝ හෙට මරණය ඔයා හොයාගෙන අවොත් ඔයා එයා එක්ක යන්න ලෑස්තිද කියල ?

(කලින් ලියලා මෙමරි ආපු එකක්,මේ දවස්වල මරණය ගැන වැඩිපුර කතා වෙන නිසා repost කලා )

අනිශා ජයකොඩි

Anisha Jayakody