මාස්ක් දාගෙන සැනටයිසර් නාගෙන හිටපු මහ අමුතුම අවුරුද්දක අවසාන පැය කිහිපය ..

රැස් කරගෙන හිටපු කුණු අස් කරලා ගෙවල් දොරවල් සුද්ද කරලා කට්ටිය 2021 ට ලෑස්ති ඇති නේද ?

ඇණේ එතනම තියෙද්දී කැලැන්ඩරේ මාරු උනා කියලා , කිරි ඉතිරේවා නව වසරේ කියලා කිව්වා කියලා , 0 තිබ්බ තැනට 1 දැම්මා කියල, අලුත් අවුරුද්දේ හැදෙනවා හැදිල්ලක් ආයෙ ලොවෙත් , ලියලා ස්ටේටස් දැම්මා කියලා අළුත් අවුරුද්දෙ, කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ ,

අද පායපු මේ ඉර හඳම තමයි හෙටත් පායන්නෙ ,

අවුරුද්දත් එක්ක අලුත් වෙන්න ඕනේ නම් , ගෙවල් දොරවල් හෝදලා විතරක් වැඩක් නැහැ , ඔළුවත් හෝදගන්න ,

වැඩිපුරම කුණු තියෙන්නේ පොළවේ නෙමෙයි ඔළුවේ …

වැඩිපුරම අනවශ්‍ය දේවල් තියෙන්නෙත් ඔළුවේ ..

ඒ වගේම වැඩිපුරම හයිය , දහිරිය තියෙන්නෙත් ඔය ඔලු ගෙඩිය ඇතුලෙම තමයි ,

මේ අවුරුද්දේ හිත රිදවපු මිනිස්සුන්ව හෝදලා ඇරලා , මේ අවුරුද්දේ දුෂ්ට කම් කරපු මිනිස්සුන්ට සමාව දීලා එයාලවත් එලියට දාලා ,ඔයාට මගෑරිච්ච ආදරණීය සුන්දර මිනිස්සු ටික ඔළුව උඩ හරියෙන් තියාගෙන , මොළේට යන පාර බ්ලොක් කරගෙන හිටපු , පරණ මතක ටික වැකුම් කරලා දාලා ,මනුස්සකම් , එක්ක අළුත් හිනාවක් මූණට දීලා ,පොඩියට හරි අලුතෙන්ම ජීවිතේ පටන් ගන්න ..

දියුණු වෙන්න ප්ලෑන් ගහන එක ඔබේ වැඩක් , හැබැයි අලුත් අවුරුද්දේ හොඳ මනුස්සයෙක් වෙන්න, රටට සේවය කරන්න , කියලා මහ ලොකු දේවල් නම් කරන්න ඕනේ නැහැ ,

මනුස්සයෙක් විදිහට තමන්ට දැනෙන සියලුම හැඟීම් අනිත් අයටත් ඒ විදිහටම දැනෙන බවත් , තමන්ට කසාද බඳින්න , දික්කසාද වෙන්න , නොබඳ ඉන්න , දරුවෝ හදන්න , තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න තියන අයිතිය අනිත් යටත් එහෙම්ම තියනවා කියලාත් මතක් කරගෙන , තමන් වගේම මේ ලෝකේ අනිත් හැමෝම ඇට , ලේ , මස් , නහර වලින් හැදිච්ච හැඟීම් දැනීම් දැනෙන මිනිස්සු කියලා මතක තියාගෙන ජීවත් වුනානම් ඒ හොඳටම ඇති ..

අවුරුද්ද වෙනස් උනා කියලා , කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ ඔයා වෙනස් වෙන්නේ නැතුව , ඔයා අලුත් වුනොත් අවුරුද්ද පරණ උනත් කමක් නැහැ , ජීවිතේ අලුත් වෙනවා ..ඒකයි ඇත්ත …

කටට ආපු පළියට හැඩ වැඩ දාලා

“ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා “කියලා මම කිව්වා කියලා ඔබට වෙන සුබක් නැහැ ,

මම මගෙ අවුරුද්ද සුබ කරගන්නවා..

ඔබේ අවුරුද්ද සුබ කරගන්න එක ඔබේ වැඩක් ..

අනිශා ජයකොඩි