පහළ තියන ආදරණීය යූවළ ගේ පොටෝ ටික අහම්බෙන් වගේ දැක්කේ..

කටේ දත් හැලිලා හම රැළි වැටිලා ජීවිතේ අන්තිම අඩියෙ ඉන්න මේ යුවළ දැක්කම සතුටකට වඩා දැනුණේ කලකිරීමක් මුසු දුකක් , සමහර රටවල මිනිස්සු මැරෙනකම්ම ආදරෙන් ඉන්නකොට , අපේ වගේ ආසියාතික රටවල දරුවෝ භාගෙට ලොකු වෙනකොටම දෙමහල්ලෝ එක කාමරේ නිදාගන්න එකත් විලි ලැජ්ජාවක් නැති හැදියාවක් නැති වැඩක් කියල හිතලා මැදි වියේදීම තම තමන්ගේ ලෝක වල තනි වෙලා හූල්ලනවා ..

ලංකාවෙ බොහොමයක් පවුල් ජීවිත හරියට අමු අඹ වගේ , බලන් ඉන්න එකාගෙ කටට කෙළ උනනවා , හැබැයි කන එකාගෙ දත් හිරි වැටෙනවා.

යුරෝපයේ කපල් විවාහ ජීවිතේ හොඳම හරිය නිදහසේ විඳින්නේ අවුරුදු 45 පස්සේ ,ඒ කියන්නේ දරුවෝ කසාද බැඳලා වගකීම් වලින් නිදහස් වුනාට පස්සේ ,ඒගොල්ලො ආදරේ හිතේ තද කරගෙන ඉන්නෙ නෑ ,එකිනෙකාට දැනෙන්න ආදරේ කරනවා ,මන් ඔයාට ආදරෙයි කියල කටින් කියනවා .

හැබැයි අපේ රටේ ,කාළයක් පෙරුම් පුරලා පණ දිදී ආදරේ කරලා බැන්ද ගමන් උන්ට මොකක්දෝ වෙනවා .

ලංකාවෙ ගෑණු මිනිස්සු හිතන් ඉන්නෙ කසාද බඳිනවා කියන්නෙ ආදරේ කරලා ඉවර වෙනවා කියල .

ගොඩක් කසාද බැඳපු මිනිස්සුන්ගේ ආදරේ හරියට කොන්දොස්තරගේ ඉතුරු රුපියල වගේ . තියනවා කියලා දන්නවා ,හැබැයි කොන්දට ඒක දෙන්න වුවමනාවකුත් නෑ ,අපිට ඉල්ලන්න හයියකුත් නෑ …

බහුතර ලාංකික මැදිවියේ ගැහැණියවත් පිරිමියාවත් පවුල කියන රාමුව තුල තෘප්තිමත් නෑ .

මේ බඳිනකන් තුරුල් වෙලා ඇලිලා ගියපු ජෝඩු බැඳලා මාසයයි එකට ගමනක් යන්නෙත් අඩි ගානක ගැප් එකක් තියන් , එක තේ එක කඩෙන් අරන් බීපු වුන් එක ගෙදරකට ආපු ගමන් කෝප්පෙ මාරු උනත් වලි කනවා .බබා පැටියා පණ රත්තරන් ,මණික ,ලෝකෙ නැති වචන වලින් ආමන්ත්‍රණය කරගත්ත ජෝඩු බැඳලා අවුරුද්ද යද්දී ඒයි ඕයි තමුසෙ බුරුවා වගේ අනුවර්ථ නාම පාවිච්චියට හුරු වෙනවා .

බැන්දට පස්සේ ගෙදර වත්තෙදි කිස් එකක් දුන්නත් ලැජ්ජ නැද්ද කියල අත ගසල දානවා .

බැඳලා ළමයි ඉන්න ජෝඩුවක් අත් අල්ලන් යනවා දැක්කොත් සමාජෙට ඒක මැජික් වෙලා පේනවා .

ගොඩක් උන්ට කසාද බැඳලා අවුරුදු 5 යද්දීම කසාද ජීවිතේ රහ නැතුව යනවා .

බැඳපු එවුන් හරියට පවුල් කන්න දන්නෙ නැති උනාම ඉතින් වටේ ඉන්න එවුන් ඇවිත් ඉතුරු ටිකත් කාලම දානවා..

ගෑණුනම් කියන්නෙ කසාද බැන්දට පස්සෙ පිරිමි වෙනස් වෙනවලු ,

ඉස්සර වගේ ආදරේ නෑ ,මන් ගැන හොයන්නෙ නෑ , මගෙ ලස්සනක් දකින්නෙ නෑ , මට එපා වෙලා ඉන්නෙ දැන් කියා කියා චුරු චුරු ගගා අඬනවා , අවධානය දිනා ගන්න රණ්ඩු අල්ලනවා , කෑ කෝ ගහනවා ,ටික දවසකින් උඹට එපානම් මටත් එපා කියල ගේම ඉල්ලනවා , පවුලේ තත්වේ දෙතුන් ගුණයකින් වැඩිකරලා සනුහරේම දැනුවත් කරලා වටෙන්ම පවුල් ප්‍රශ්න වලට උපදෙස් ඉල්ලනවා .

ඉස්සර හිටපු පෙම්වතා වෙනස් වෙලා කියල ගතු කිව්වට තමනුත් ඉස්සර හිටපු පෙම්වතිය නෙමෙයි කියල ගොඩක් බිරින්දෑ වරුන්ට අමතක වෙනවා . සැමියා ඉස්සර වගේ ආදරේ කියන්නේ නෑ ආදරේ කරන්නෙ නෑ කියල කිව්වට පෙම්වතා සැමියා බවට පත් උනාට පස්සෙ තමනුත් බෙල්ල බදාගෙන ඔහුට ආදරෙයි කියල කියපු දවස් අඩුයි කියල ගොඩක් වෙලාවට ගෑණුන්ට අමතක වෙනවා .

දරුවො ලැබිලා ගෙදර වැඩ වැඩි වෙලා ජීවිතේ වගකීම් වැඩි වෙනකොට ආදරේ හොයනවා මිසක් ආදරේ කරන්න වෙලාවක් නැති වෙනවා , වෙලාවක් තිබ්බත් කම්මැලියි වගේ හිතනවා , ගෙදරම ඉන්න මිනිහගෙ අත අල්ලන් තුරුල් වෙන්නෙ මොන කෙහෙල් මලටද කියල හිතනවා ,ඉස්සර දවසට කෝල් සීයක් විතර අරන් කෑවද බිව්වද හුස්ම ගත්තද කියල අහපු පෙම්වතිය බිරිඳ බවට පත් උනාට පස්සෙ ආදර ඇමතුම් බල්ලට දානවා , ඉඳල හිටලා sms එකක් දැම්මත් ඒකෙ තියෙන්නෙත් එද්දී හාල්මැස්සෝ පන්සීයක් ගේන්න කියල විතරයි .ඉස්සර ඇඟිලි පටලන් චුම්බනයට පත් වෙන කෙල්ල බිරිඳ බවට පත් වුන ගමන් සැප පහසු සයන වලත් වහළේ උළු ගණන් කරනවා .

පහු වෙද්දි කොහු වෙලා පිරිමිත් ටික ටික නිශ්ශබ්ද වෙන්න පටන් ගන්නවා ,ඕටී වැඩිවෙනවා ,යාළුවො වැඩිවෙනවා , ගෑණිට කන්න අඳින්න දුන්නම කසාදෙ සම්පුර්ණයි කියල හිතනව .

අන්තිමට කසාද ජීවිතේ කියන්නෙ මේකට වෙන්න ඇති කියල දෙන්නම හිත් හදාගන්න බලනවා .

කොහොමහරි ගෑණු පිරිමි දෙගොල්ලොම විවාහ වෙලා ජීවිතේ හොඳම හරියෙදි ආදරේ වගේම ජීවිතෙත් වටිනාම කොටසක් මග හැර ගන්නවා .

ගෑනුන්ට අමතක උනාට ආදරේ ඕනෙ ගෑණුන්ට විතරක් නෙමෙයි .කෑ ගහල කිව්වෙ නැති උනාට ඉල්ලලා රණ්ඩු කලේ නැති උනාට පිරිමිත් ආදරේට ලෝබයි .ආදරේ විඳින්න ආසයි , හිත ඇතුලේ ආදරේ ගල් කරන් ඉන්න පිරිමි ආදරේ වචන වලින් එළියට දාන්න ටිකක් කම්මැලියි .ඒක හිත යටින් ඇදලා කටින් පන්න ගන්න ගෑණු දක්ෂ වෙන්න ඕනෙ .

බුබුළු දදා උතුරන ආදරේ ඉස්සරහ ඕනම පිරිමියෙක් හරි ඉක්මනට හීලෑ වෙනවා ,

තරු පහේ හෝටලේක කෑම වේලකට එක්කන් ගිහින් ෆෝන් එක ඔබ ඔබ ඉන්නවට වඩා හංදියේ සයිවර් කඩෙන් වඩේ මල්ලක් ගෙනත් දීලා ඒකත් එක්ක බදාගෙන හාදුවක් දෙනවට ගෑනු ආසයි .කොච්චර කැත ගවුමක් ඇඳන් හිටියත් ඉස්සර වගේම ලස්සනයි කියනවට ගෑණු ආසයි ,හිතේ හංගන් ඉන්නැතුව රෑට නිදාගන්න යද්දීවත් ආදරෙයි කියල කටින් කියනවා අහගන්න ගෑණු ආසයි .

ගෑනුන්ව සන්තෝෂ කරන්න පුළුවන් කාර් ගෙවල් රත්තරන් වලට විතරයි කියලා සමහර පිරිමි හිතුවට හුඟක් ගෑණු ආත්ම වැඩිපුරම සන්තෝෂ වෙන්නෙ පපුවටම දැනෙන ආදරේ ළඟ .

කටින් නොකිව්වට පිරිමිත් ආදරේ හොයනවා .ආදරේ ළඟ නවතිනවා , එකම වෙනස පිරිමි ආදරේ කේක්‌ එකට රාගයේ පාට පාට අයිසිනුත් බලාපොරොත්තු වෙනවා .

ජීවිතේ කියන්නෙ දුක් විඳ විඳ රස්සා කරලා බිල් ගෙවලා ලෝන් දාලා ගෙවල් හදලා , දරුවො ලොකු කරලා ජීවිතේට සාප කර කර විඳවලා මැරෙන එක නෙමෙයි . දරුවො ලොකු වෙයි , විවාහ වෙයි .

හැබැයි ඒ කිසි දෙයක් ඔබට ආදරේ කරන්න බාධාවක් නෙමෙයි.මැරෙනකම්ම සැමියාට ආදරේ කරන්න , බිරිඳට ආදරේ කරන්න , හිතේ තද කරගෙන හංගගෙන ඉන්නෙ නැතුව ආදරෙයි කියල කටින් කියන්න .එතකොට පුතා ලේලිට ආදරේ කරනකොට , දුව බෑනට ආදරේ කරනකොට , නැන්දම්මා කියන සාම්ප්‍රදායික චරිතයට ආරූඩ වෙලා තණ්හාවෙන් පුපුරා හැලෙන්න හිතෙන්නේ නැහැ ..

විවාහය කියන්නේ කළාවක් , ඒක රසවත් වෙන්නෙ දෙන්නම නර්ථනයෙන් දායක උනාම ,හැබැයි නර්ථනයෙ ලාලිත්‍ය පවත්වාගැනීම ගැහැණියට අයිති කාර්යයක් .බලන් ඉන්න මිනිස්සු ගැන හිතන්න එපා , අළුත් පද හොයාගෙන සන්තෝෂෙන් නටන්න .එතකොට පිරිමි ඉබේම නැටවෙනවා .

ලෝකෙට බයේ ජීවිතෙන් භාගයක්ම තමන්ව හංගගෙන දුක් විඳලා මැරිලා යන මිනිස්සු අතරෙ , අන්තිම හුස්ම වෙනකම්ම ආදරෙන් වෙලිලා ඉන්න මේ වගේ කුරුළු ජෝඩු දැක්කමත් අමුතුම සතුටක් දැනෙනවා නේද ?

…………….

එහෙමයි කියලා ,කථාව ඇත්ත උනාට ඕවා කරන්න ගිහින් ගමේ අහල පහල එවුන් අපිට මොනවා නොකියයිද ? නාකි විසේ ගෙටත් උසේ කියලා මිනිස්සු කැළෑ පත්තර නොගැහුවොත් මදෑ , අනික ඔය රටවල වගේ නෙමෙයි අපිට සදාචාරයක් සංස්කෘතියක් , හැදියාවක් කියලා දෙයක් තියනවා , අවුරුදු 2500 ක ප්‍රව්ඩ ඉතිහාසයක් තියන අපේ සංස්කෘතියට ඔය මළ සමයන් ගැලපෙන්නේ නැහැ , මළ විකාර සමයං …( කොච්චර කොහොම කිව්වත් ඔන්න ඕකයි අන්තිමට වෙන්නෙ )

අවසාන වශයෙන් ,සංස්කෘතිය , සදාචාරය , සිරිත්විරිත් , මේ හැමදේකින්ම වෙන්න ඕනේ , මිනිස්සුන්ගේ ජීවිත සරළ විදිහට සුන්දර කරන එක , පහසු කරන එක , නැතුව සදාචාරය කියලා තේරුමක් නැති උහුලගන්න බැරි බරක් ඔළුගෙඩිඋඩ තියාගෙන හති දදා මැරෙනකම් හුස්ම ගන්න එක නමෙයි ..සදාචාරය , සංස්කෘතිය කියන ඒ බැමි වලට අඩිය තියන්න තරමේ හයියක් නැති නිසා නිසා අපි වගේ රටවල ගොඩක් බිරින්දෑවරු සහ සැමියාවරු ,දුක් විඳලම ඔහේ මැරිලා යනවා ,

ඔබටත් ඒ සීමාව පනින්න බෑ වගේනම් , මේ වයසක ආදරේ දිහා බලලා හරි , හිත පහදාගන්න ..වෙන කරන්න දෙයක් නැහැ ..

අනිශා ජයකොඩි