මානසික ලෙඩ්ඩු ???

පිස්සු කියන වචනේ නොකියපු නොඅහපු කෙනෙක් නැතුව ඇති , ඒ තරමටම මේ” පිස්සු” කියන වචනය විහිළුවක් විදිහට සමාජ ගත වෙලා ඉවරයි ,

හැබැයි කාට හරි ඇත්තටම ”පිස්සු ” හැදුනොත් තත්වය සම්පුර්ණ වෙනස් ,එදා ඉඳලා මුළු සමාජයම ඒ කෙනා දිහා අමුතු සතෙක් දිහා බලන විදිහට තමයි බලන්නෙ , ඒ තරමටම මානසික සෞඛ්‍ය ගැන අපේ රටේ මිනිස්සුන්ගේ දැනුම සහ අවබෝධය අවමයි .

මේ ගැන සමාජයේ තියන රිනාත්මක ආකල්පය සහ කොන් කිරීම නිසාවෙන්ම තමන්ට මානසික අබාධයක් තියන බව පිළිගැනීමට බහුතරය බියක් දක්වන අතර සමහරු වයිද්‍ය උපදෙස් වලට යොමුවීමට පවා මැලිකමක් දක්වයි.

මේ හේතුව නිසාවෙන් බොහෝ පිරිසක් තමන් පවා නොදැනුවත්වම මානසික රෝග නිසා පීඩා විඳින අතර , එහි බලපෑම තමන්ට , තමන්ගේ පවුලට , වගේම මුළු සමාජයටම ඍණාත්මක බලපෑම් ඇතිකරවන බව කණගාටුවෙන් උනත් කියන්නම වෙනවා .

මානසික රෝගයක් කියන්නෙ මොකක්ද ?

පුද්ගලයෙකුගේ මොළයේ ඇතිවන රසායනික අසමතුලිතතාවය ( Brain chemical imbalance ) හේතුවෙන් හැසිරීමේ සහ සිතුවිලිවල අහේතුක වෙනස්වීම තමයි මානසික රෝගයක් කියල කියන්නේ ,

මානසික රෝගයක් ඇතිවීමට ප්‍රධාන හේතු හේතු මොනවද ?

සමාජ ගැටළු

පවුර්ශ ගැටළු

ජානමය හේතු

මත් පැන් හා මත් ද්‍රව්‍ය

ස්නායු ආබාධ

මෙවැනි කාරනා නිසා දැනෙන අධික දුක , වේදනාව , කනස්සල්ල ,ඉචචාභoගත්වය , තනිකම නිසාවෙන් මොලයේ යම් යම් රසායනික වෙනස්කම් ඇති වී , එහි ප්‍රථිපල මානසිකව හෝ ශාරීරික රෝග ලෙස හෝ මේ දෙකම ලෙස පැනනැගිය හැක .

ලෝක ජනග්‍රහණයෙන් සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකු කුමන හෝ මනාසික ආබාධයක් සහිත අයෙකු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අතර සෑම මිනිසෙකුම තම ජීවිත කාලය තුල එක වරක් හෝ කිහිප වරක් තාවකාලික මානසික රෝග වලින් දුක්විඳින බවත් කවුරුත් නොදන්නා ඇත්තක් ,

”පිස්සෙක් ” කියන වචනයට විතරක් නෙමයි , මානසික සෞඛ්‍ය ආයතනය පිහිටලා තියන අංගොඩ කියන ප්‍රදේශයට පවා හිනාවෙන මිනිස්සු ඉන්න රටක , තමන්ගේ මානසික අබාධ පවුලේ මිනිස්සුන්ගෙන් පවා හංගගෙන දුක් විඳින්න මිනිස්සු පෙළඹීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ ,

අධික කාර්යබහුල බව , නොසංසිදෙන තණ්හාව , ටොන් ගණන් බලාපොරොත්තු , මානය , තරහ , හිත් වල පුරවගත් මිනිස්සු සතුට හොයාගෙන කිසිම සතුටක් නැති වෙන වෙන භවුතික කාරණා පස්සේ හති දාගෙන දුවනකොට තමනුත් නොදැන තමන් මානසික ලෙඩ්ඩු වෙලා ඉවරයි , තමන් පමණක් නෙමෙයි තමන්ගේ ක්‍රියාකලාප නිසා සමහරවිට තමන්ගේ සමීපතමයින් පවා මානසික අබාධ වලට ගොදුරුවෙන අවස්ථා එමටයි .

මානසික ආබාධ සිය ගණනක් අතුරින් අපේ සමාජයේ බහුලවම පවතින රෝග අතර ,

  • Anxiety Disoders ( කාංසාව)
  • Psychotic Disoders ( හීන්නෝමාදය )
  • Probhia ( පුද්ගලයින්ට , ස්ථාන වලට , දේවල් වලට බිය , මෙහි උප ප්‍රබේධ ගණනාවකි )
  • Dimentia (කෙටිකාලීන අමතකවීම හෝ සිහි මද ගතිය )
  • Depression ( විශාදය )
  • ADHD (ස්නායු අබාධ හේතුවෙන් අවධානය යොමු කිරීමේ ගැටළු )

මේ නම් අහනකොට අපට අදාළ නැහැ කියල හිතුනට , වැඩිපුර කෑම කන , කෑම නොකාම ඉන්න , අනවශ්‍ය බියකින් තැතිගැන්මකින් ඉන්න , හේතුවක් නැතුව දුක දැනෙන , ජීවත් වුනා ඇති කියල හිතෙන , හැමදේම එපා වෙන , විකුර්ති ලිංගික ආශාවන් දැනෙන , නිතරම පරපිඩ්ත සිතුවිලි පහළවෙන , හේතුවක් නැතුව බොරු කියන , කොච්චර බෙහෙත් ගත්තත් හොඳ වෙන්නේ නැති පපුවේ අමාරු , ඔලුවේ අමාරු , බඩේ අමාරු , හුස්ම් ගැනීමේ අමාරු වලින් පීඩා විඳින , සිය දිවි හානි කරගන්න හිතෙන , එකම දොර දෙතුන් පාරක් වහන්න හිතෙන , අත හේදුවා කියලා හොඳටම දැන දැනත් ආයෙ ආයෙ හෝදන්න හිතෙන , දවසට selfi දහයක් විතර අරගෙන upload කරන,

එක එක ශබ්ද ඔබට කතාකරනවා කියල දැනෙන , ඔබත්,

මේ ඉහත කියපු මානසික රෝග අනු කොටසක අයිතිකාරයෙක් වෙන්න පුළුවන් ,

මේ ලඟදි පංසලක් ළඟ පුංචි දුවෙකුට සරම උස්සලා ලිංගික අවයව පෙන්නපු අමනුස්ස මිනිහෙක්ගෙ වීඩියෝ එකක් දැක්කා , ගහන්න ඕනේ ඒකාව මරන්න ඕනේ කිව්වට ඇත්තටම වෙන්න ඕනේ ඒ මිනිහට බෙහෙත් අරන් දෙන එක , මොකද ප්‍රදර්ශන කාමුකත්වය කියන්නේ බෙහෙත් සහ , උපදෙස් ගන්න ඕනේ එක්තරා බහුල මානසික ලෙඩක් ,

බොහෝ පිරිමින් සහ කාන්තාවන් නොදන්නවා උනාට අනවශ්‍ය ලෙස ශරීර අවයව ,ලිංගික අවයව බාහිර සමාජයට පෙන්වීමෙන් තෘප්තිය ලැබීම මනෝ විද්‍යාවට අනුව ලෙඩක් ,

සමාජ යක් විදිහට අපි, මුලින්ම මේ “පිස්සු” කියන වචනයට තියන බය නැතිකරගන්න ඕනෙ,

මේ රෝග හෝ ලක්ෂණ ඍජුව හෝ වක්‍රව ඔබට හෝ සමීපතමයින්ට කරදරයක් වදයක් වෙන තත්වයට උග්‍ර නම් වයිදය උපදෙස් වලට යොමුවෙන්න ප්‍රමාධ වෙන්න එපා ,

මොකද ,මේ ලෝකේ ඉන්න අපි හැමෝම මොකක් හරිම පිස්සුවක් තියන එක්තරා විදිහක පිස්සෝ , ඒක සාමාන්‍ය පුද්ගලයෙකුට තියන ප්‍රමාණයට වඩා පොඩ්ඩක් වැඩි උනොත් ඉතින් බෙහෙත් ටිකක් බීලා උපදෙස් ටිකක් අහලා සාමන්‍ය තත්වයට එන එක ලැජ්ජවෙන්න දෙයක් නෙමෙයි .

ඔබ අවට කෙනෙකුගේ අනිසි ශාරීරික රෝගයක් හෝ මානසික පසුබෑමක් , වෙනසක් දැනෙනවානම් කරුණාකර ඔවුන්ව නොසලකා හැරීම නොකර ,උපදෙස් සඳහා යොමුකරන්න .

  • මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ලබාදෙන බෙහෙත් සහ උපදෙස් පිළිපැදීම
  • සාමාන්‍ය ලෙස එදිනෙදා දයිනික ක්‍රියාවල යෙදීම
  • ව්‍යායාම සහ ක්‍රියාශීලී වීම
  • ප්‍රමාණවත් නින්දක් සහ විවේකයක් ලබාගැනීම
  • මනෝ විද්‍යාව , ධනාත්මක චින්තනය ගැන ලිපි හෝ පුවත් කියවීම
  • ඔබ කැමති සමබර සමබල ආහාර වේලක් ගැනීම
  • ඒකාකාරී දිවිය තරමක් වෙනස් කිරීම
  • භාවනා ක්‍රම / යෝගී ක්‍රම
  • විනෝදාංශ වලට යොමුවීම සහ සතුටු හිතෙන දේවල් කිරීම
  • ආදරණීයයන් සහ හිතවතුන් යහළුවන් සමග කාලය ගත කිරීම
  • ඔබේ සිතුවිලි , ඔබට දැනෙන දේ විශ්වාශ අයෙකු සමග පැවසීමහෝ ලේඛන ගත කිරීම
  • පවුර්ෂ වර්ධනය ගැන හැදෑරීම සහ අදහන කුමන හෝ ආගමකට වැඩිපුර ලං වීම ,

මගින්,

90% ම මානසික ආබාධ ඉතාමත් කෙටි කාලයකින් සම්පුරණයෙන් සුව කරගැනීමට හැකියාව ඇත .

වර්තමාන සමාජයේ ශාරීරික රෝග වලට වඩා වේගයෙන් මානසික ව්‍යාදි වර්ධනය වීමක් පෙනී යන අතර එම තත්වය තව දුරටත් සමාජයෙන් කොන් කිරීමට හෝ කොන් වීමට , සමාජයෙන් සැඟවීමට තරම් දෙයක් නම් නොවේ ,

අතක් කැඩුනම , කකුලක් තුවාල උනහම , ඔලුව පැලුනම අපි ඒවා හොඳ කරගන්න බෙහෙත් ගන්නවා නේද ? ඉතින් මොළය කියන්නෙත් ඒ වගේම සාමාන්‍ය අවයවයක් , ඒකෙ කෙමිකල් බැලන්ස් එක වෙනස් වෙලා සිස්ටම් එකේ පොඩි පොඩි අවුල් වෙන්න පටන් ගන්නකොට කරන්න ඕනෙත් ඒ ටිකම තමයි ,

බෙහෙත් ගන්න එක ,

ඔලුව, අත , කකුල , පපුව , බඩ සාමාන්‍ය අවයව වෙලා මොලේ විතරක් වෙනස් වෙන්න විදිහක් නැහැ නේ , ඒ නිසා ඇඟේ අමාරු වගේම මොලේ අමාරු කියන්නෙත් මැජික් එකක් නෙමයි , උණ හෙම්බිරිස්සාව වගේ සාමාන්‍ය ලෙඩ , ඉක්මනට බෙහෙත් ගත්තොත් ඉකමනට හොඳ වෙනවා , ලෙඩේ හංග හංග හිටියොත් ඉතින් උන සන්නිපාතේ හැදිලා ජීවිතෙන් උනත් වන්දි ගෙවන්න සිද්ද වෙන්න බැරි කමක් නැහැ ,

ඒ නිසා නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කොටන්න වෙනකන් ඉන්න එපා ,

සමාජය ලෙස ,ඔබ අවට සිටින අයෙකුගේ අනිසි හැසිරීමක් , චර්යා වෙනසක් හෝ මනෝ ව්‍යාදියකට බෙහෙත් හෝ උපදෙස් ගැනීමක් දුටුවිට ”අපෝ ඌ ට පිස්සු” කියල ඔහුව සමාජෙන් කොන්කිරීමට ඔබට හිතෙනවනම් ඔබ නොදන්නවා උනාට ඔබට තියෙන්නේ ඊටත් වඩා දරුණු පිස්සුවක් බව මතක තියාගන්න .

මොකද මේ ලෝකේ හැමෝම තාවකාලික හෝ ස්ථිර මානසික ලෙඩ්ඩු නිසා වෙන පිස්සුකුට හිනා වෙන කෙනා ඊටත් වඩා පිස්සෙක් නෙමෙයිද ?

මීට පස්සේ අංගොඩ විතරයි පිස්සෝ ඉන්නේ කියලා අංගොඩ මිනිස්සුන්ට හරි වෙනත් මානසික රෝගියෙකුට හරි හිනා වෙන්න හිතුනොත් කන්නාඩියක් ලඟට ගිහින්ම හිනාවෙන්න , එතකොට ඔබට කණ්නාඩියෙන් තව පිස්සෙක්ව පෙනෙයි,

අනිශා ජයකොඩි

Anisha Jayakody