
ඉරිසියාව මහ කරුම ලෙඩක්,
අනුන්ගේ සතුටක් , දියුණුවක් , ලැබීමක් , ජයග්‍රහණයක් ,දැකපු ගමන් තමන්ගෙ හිතට තරහක් නොසන්සුන්කමක් , වයිරයක් , නොසතුටක් ඇතිවෙනවා නම් ඒක තමයි පැහැදිළි ඉරිසියාව ..
හැබැයි මිනිස්සුන්ට වැඩිපුරම මේ ඉරිසියාව කියන හැඟීම දැනෙන්නෙ නොදන්න අයට වඩා තමන් හොඳින්ම දන්න කියන අය ගැනම තමයි.
අල්ලපු ගෙදර සුමනේ ණයක් අරගෙන ඇඳුම් කඩයක් දැම්මා උනත් , අනේ රෙදි නැතුව හිටියත් ඕකගේ රෙද්ද අපිට එපා කියලා අතින් පාඩු කරගෙන ත්‍රීවිල් එකක් අරන් ටවුමට ගිහින් අයිතිකාරයා කව්ද කියලවත් නොදන්න රෙදි කඩ වල පොරකකා රෙදි තෝරන්න හිතෙනවනම් ,
එංගලන්තෙ හැරී ටයි මේගන් ටයි සුබ පතන ගමන් , ඔෆිස් එකේ සැමියා මැරිච්ච චාමරි වෙන කෙනෙක්ව බඳින්න යනවා කියලා දැනගත්ත ගමන් හැදියාව , සංස්කෘතිය , සදාචාරය ගැන චමරීට මතක් කරලා දෙන්න හිතෙනවනම් ,
මිරිස්කුඩු පැකට් කරලා විකුණලා ලීසිං එකකුත් දාලා කාර් එකක් ගත්ත යාලුවව දැක්කම , ඕකා මිරිස්කුඩු නෙමෙයි විකුණන්නේ කුඩු වෙන්නැති ” කියලා හිතෙනවනම් ,
ගැහැණියෙක් ලස්සනට ඇඳලා ,පැළඳලා ඉන්නවා දකිනකොට ඇහේ කටු ඇනෙනවා වගේ බලන් ඉන්න බැරි තරහක් දැනෙනවානම් ,
තමන්ගෙ දරුවෙකුට නැති දක්ෂතාවයක් යාලුවෙක්ගෙ දරුවෙක්ට තියනවා දැක්කම ”ඌට පුලුවන්නම් උඹට බැරි මොකද කියලා ”තමන්ගෙ දරුවට ටොකු ලොරියක් අනින්න හිතෙනවනම් ,
දන්න කියන කෙනෙක් හිනාවෙලා සතුටින් ජයග්‍රහණයක් සමරනකොට , නොදැක්කා වගේ අහක බලන් ඉන්න හිතෙනවනම් ,
බුකියෙ වැදගත් post එකක් දැක්කම ෆේක් එකකින් ඇවිත් කුණුහරප ටිකක් කොටලා,රිපෝර්ට් ගහලා, හැංගිලා බලන් ඉන්න හිතෙනව නම්,
සතුටුයි , ඔබත් ඉහළම මට්ටමේ ඉරිසියාකාරයෙක් තමයි..
ලොව අපි නොදන්නා ඕනෑම අයෙකුට ජනප්‍රිය විය හැක, දියුණු විය හැක, සාර්ථක විය හැක, විභාග සමත් වී මහා උගතෙකු විය හැක. එවිට අපි ඔවුන්ට සුබ පතයි, ඒ වෙනුවෙන් සුබපැතුම් යවයි.අපි ඉතා සුබවාදී , අන් අයගේ දියුණුව දැක සතුටුවන පිරිසක් බව හැඟවීමට උත්සහ දරයි .
එහෙව් අපි,
අපි හොඳින් දන්නා අයෙකු , මිතුරෙකු, හිතවතෙකු හෝ අසල්වැසියෙකු , දියුණු වන විට, උගතෙකු ,නැණවතෙකු වන, විට ධනවත් වන විට , සාර්ථකත්වය උදෙසා යමක් කරනවා දැක්ක ගමන් , අපෙගේ ඉරිසියා නහර වැඩ කිරීමට පටන් ගනියි .
රහසේ අකුල් හෙලයි.ඒ ජයග්‍රහණ ,සහ සතුට ප්‍රතික්ෂේප කරයි, නොදන්නවා හෝ නොදැක්කා සේ සිටියි. ඒ විතරක්ම නම් ම දෑ අතින් පාඩු කරගෙන හරි කළහැකි සියලු දුෂ්ටකම්ද නොපිරිහෙලා ඉටු කරයි .
කරන්නට කියන්නට දෙයක් ඇත්තෙම නැත්තම් ඔවුන්ගේ හත් මුතු පරම්පරාවේ අතීතය හා සම්බන්ධ දෙයක් සභාගත කරමින් හෝ මඩ ප්‍රචාරයක් දියත් කරයි.
තමගේ පෙම්වතා බේබද්දෙකු , හෝ සල්ලාලයෙකු නම් තමාගේ සියලු මිතුරියන්ගේ පෙම්වතුද සල්ලාලයන් විය යුතුමය .
තමා තවකෙකු යටතේ වැඩ කරන විට කිසිම යහලුවෙකුට හෝ අස්ලවසියෙකු තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්නවා බලන්නට බැරිය ,
සරළවම කිව්වොත් , තමන්ට තියන දේ වෙන අයෙකුට ලැබෙනවා දකින්න අකමැති මිනිස්සු , තමන්ට නැති දෙයක් වෙන අයට ලැබෙනවාට නම් කොහොමටත් කැමති නැත ,
අපිට කල හැකි යමක් වේද අපි හැර අන් කිසිවකු එය කිරීම අනුමත නොකරන අපි , අපිට කල නොහැකි යමක් අන් අයෙකු විසින් කිරීම බලන් ඉන්නේ කොහොමද ?
ඒත්.. දන්නවද ,
වෙන කෙනෙක්ගේ ලැබීමකට , හැකියාවකට ඉරිසියා කළා කියලා ඒ හැකියාව , ජයග්‍රහණය ඔයාට ලැබෙන්නේ නැහැ ,
ඒකෙන් වෙන්නෙ , මස්තිෂ්කයේ පිරෙන අයහපත් සිතිවිළි නිසා , ප්‍රෙෂර් වැඩිවෙලා , ලේ නරක වෙලා , ඉන්නවටත් වැඩිය කැත වෙලා , ඇකිලිලාම යන එක විතරයි ,
හරියට ඔයා වහ බීලා වෙන කෙනෙක් මැරෙන කම් බලන් ඉන්නව වගේ නිශ්පල වැඩක්,
මොකද එක එක්කෙනාගේ කුහකකම් ඉරිසියාකාරකම් දැක්කා කියල , දැනුනා කියලා , දිනන මිනිස්සු තමන්ගේ ගමන අතඇරලා ඇඳට ගිහින් පොරවාගෙන නිදාගන්නේ නැහැ , තව තවත් තමන්ගේ ගමන සුරක්ෂිතව යනවා මිසක ,
තමන්ට තමන්ව වත් පාලනය කරන්න බැරි ලෝකෙක , අනුන්ගේ දියුණුවක් , සතුටක් , ජයග්‍රහණයක් , කොහොම පාලනය කරන්නද ? අනුන්ට වළවල් කපන වෙලාවේ , ඒ වලවල්වල අමුකහ පැල ටිකක් හිටෙව්වොත් මාස දෙක තුනකින් අතට හරි කීයක් හරි ලැබෙයි ,
අනිත් අයගේ ගමනට හූල්ල හූල්ල ඉන්න එකෙන් වෙන්නේ තමන්ටම නොදැනී තමන් කාලය කන්නෙක් වෙන එක විතරමයි .
හැමෝටම හැමදේම බැහැ , (හැබැයි සමහරුන්ට මුකුත්ම බැහැ ) ඒ නිසා වෙන කෙනක් superstar තරඟෙට ගියා කියලා , දරු නැළවිලි ගීයක් වත් තාලෙට කියාගන්න බැරි ඔයාත් , සින්දු කියන්න ගියා කියන්නෙ අමුම අමු ගොන් කමක් ,
යාළුවගේ ළමයා swimming class යනවා කියලා , ගෙදර නාන්නෙත් නැති ඔයාගේ දරුවව බලෙන් swimming class දානවා කියන්නේ නිකන්ම නිකන් අපරාධයක් ,
රුසියාවටත් වඩා ලොකු ඉරිසියාව නිසා අනිත් අයට කෙසේ වෙතත් තමන්ට නම් වෙන්නෙ පාඩුම විතරමයි ,
ආසියාතික රටවල මිනිස්සු පැල් බැඳගෙන එකිනෙකාට ඉරිසියාකාර කම් කර කර ඉන්නකොට , දියුණු රටවල මොලේ තියන මිනිස්සු , අනුන්ගේ දෙයක් දිහා බලලා හරි සතුටෙන් සනීපෙන් ඉන්නවා ,
තමන් නෙළන්නේ තමන් වවපු දේ නිසා , අනුන්ගේ වගාවල් දැකලා හුල්ලලා වැඩක් නැති බව තේරුම් අරන් තමන්ගෙ යහපතට වැඩක් කරන්න පුරුදු වෙච්ච මිනිස්සුන්ට ජීවිතේ හරිම ලේසියි ,
අනුන්ට ඉරිසියා කරන එකෙන් තමන්ට වෙන පාඩුව ගැන හරියටම තේරුම් ගත්ත දවසට ඔයා ඉරිසියාව කියන බෝම්බෙට හිතේ හතර මායිමට වත් එන්න දෙන එකක් නැහැ ,
හැංගි හැංගි හිත ඇතුලෙන් ඉරිසියාකාරකම් කරන ඔයා නොදන්නවුනාට හිතේ පැසවන ඉරිසියාව ඔයාගේ හැසිරීමෙන් සමාජයට හොඳට පේනවා , ඒ නිසා පරිස්සමින් ,
ඉරිසියාව කියන්නෙ ලෙඩක්, නිකන් ලෙඩක් නෙමෙයි, මහ කරුම ලෙඩක්,
වැලඳිලා වේදනා විඳින හැමෝටම සුවය පතමු
අනිශා ජයකොඩි