අමාරුම දේ මිනිස්සු කව්ද කියලා අඳුර ගන්න එකලු, ඉතින්..ඒක ඇත්තද??
නැහැ..
මිනිස්සු අඳුර ගන්න එකත් අමාරුයි තමයි,
ඒත් අමාරුම දේ නම් ඒක නෙමෙයි.
අවුරුදු 16,විතර වෙද්දී මම ආසම චොකලට් කන්න.මගෙ දිව සතුටුම වෙන්නෙ චොකලට් රසට කියලා තමයි මන් හිතන් හිටියේ,
අනේ මොන පිස්සුද??දැන් ඇහැට පෙන්න බැරිම කෑම අතර ඉහලින්ම ඉන්නෙ එදා පණ වගේ ආදරෙන් කාපු ඒ චොකලට්ම තමයි ,
ඉස්සර කාපු කොළත් එකතු කරපු මන් දැන්,ඉස්සර කාපු චොකලට් මතක් කලත් අපෝ කියලා හිතෙනවා,
එදා චොකලට් හිටපු තැන අද ඉන්නෙ අඹ අච්චාරු, වෙරළු අච්චාරු නැත්තම් කරවිල.. ඒත් අද අච්චාරු ඉන්න තැන හෙට ඉන්නෙ චීස් ද, පාන් ද නැත්තම් වට්ටක්කා ද කියලා මමවත් දන්නේ නැහැ.
බණ භාවනා වලට තිබ්බ කැමැත්ත නිසා ඉස්සර ම මම හිතන් හිටියෙ මහන වෙන්න, කොහෙන්ද ආපු ප්‍රේමයක් නිසා ඒ පිං සිතුවිල්ල මටත් නොකියා හිත යටට කරලා දැම්මේ කවද්ද කියලා අද මේ වෙනකම් වත් මගෙ හිත මට කියලා නැහැ.
පිරිමියෙක් ගැන මගෙ හිතේ තිබ්බේ වෙනමම එකක්, මට ගැලපෙන්නේ මට වඩා ගොඩක් වැඩිමල් පට්ටම පට්ට සීරියස්,හෙනම හෙන ගැඹුරු, මහා බහුශ්‍ර්ත, එකෙන්ම දාර්ශනික පොරක් කියලා තමයි මම හිතන් හිටියේ,
ඒත්,යන්තම් මට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් නැව ගිලුනත් බෑන් චූන් වර්ගයේ එන එන විදිහට ගහු උළුවස්ස තියරියේ හිනා වෙන්න විතරක් දන්න, පට්ටම පට්ට බොළඳ ප්‍රේමවන්තයෙක් ළඟ මම නැවතුනාට පස්සේ තමයි මටත් තේරුනේ අර ලොකු ලොකු පඬි වදන් දුන්නට ප්‍රේමය කියන දේදී මට ඕන වෙලා තිබ්බේ මේක කියලා….
ගැලපෙනම පාට කහ කියලා හිතලා, ඒක විශ්වාස කරලා උඩට යටට ඔක්කොටම කහ පාට ඇඳලා මූනෙත් කහ ගාගෙන මේ ලෝකේම එදා කහ පාටට දැකපු මම, අද මගෙ ගෙදර කහ පාටට තියෙන්නේ කහ කුඩු බෝතලේ විතරමද කොහෙද?? එදා අකමැතිම වූ කළු පාට අද ආසම පාට වෙලා කැමතිම කහ පාට අකමැතිම පාට වෙච්ච හේතුව මමත් මේ තාම හොයනවා..
මේ දේ නැති උනොත් මට දරාගන්න බැරි වෙයි කියලා හිතපු දේවල් ඇත්තටම නැති වෙච්ච වෙලාවට, ඇහෙන් එක කඳුලක්වත් ආපු නැති වෙලාවල් වගේම,
මේක නම් නැති වෙන තරමටම හොඳයි කියලා නැති වෙනකම් බලන් හිටපු දේවල් නැති උනාට පස්සේ මම වත් නොදැන නවත්තගන්න බැරි තරම් අඬපු වෙලාවල් ජීවිතේ ඕන තරම් තියෙනවා.
ඔයත්, මං නිකමට අල්මාරිය ඇරලා බලන්න.. අද වෙනකොට ඇහැක් ඇරලවත් බලන්න හිතෙන්නේ නැති ඒත් කාලෙකට කලින් ඔයාම පුදුම ආසාවකින් ගත්ත ඇඳුම් සපත්තු කොච්චරක් නම් කියලා තියනවද කියලා..
ඒවාට කැමති උනේ ඇයි කියලවත් අකමැති උනේ ඇයි කියලවත් ඔයාවත් හරියට දන්නේ නැහැ නේද?
මම කව්ද, මට ඕනේ මොනවද, මම කැමති මොනවටද කියලා කව්රු හරි ඇහුවොත් අද මම දෙන උත්තර හෙටට වලංගු නැති වෙන්න පුළුවන්. මොකද මට වත් නොදැනී අද ඉන්න මම හෙට වෙද්දී වෙනස් වෙනවා,
ඒ ඇයි කියල වගේම එහෙම වෙන්නෙ කොහොමද කියලා මමත් තාම හොයනවා..
ඉතිං මට මාව වත් තේරුම් ගන්න බැරුව කොහොමද දෙයියනේ වෙන එකෙක්ව තේරුම් ගන්නෙ, එහෙම හිතන එකත් පට්ට විහිළුවක් නෙමෙයිද ..
ජීවිතේ කොතැනකදීවත් වෙන කෙනෙක්ව තේරුම් ගන්න අපිට හිතන්නවත් බැහැ. ඔයා නිකමට හරි එහෙම හිතන් ඉන්නවනම් අන්න ඒවට තමයි හීන කියන්නෙ.
මීට පස්සේ,අරයා වෙනස් උනා, මෙයා වෙනස් උනා, ඔයාට මාව තේරුම් ගන්න බැරිඋනා, මට එයාව තේරුම් ගන්න බැරි උනා, මාව තේරුම් ගන්න ප්ලීස්..ඔය වගේ තෙරුමක් නැති කථා කියන්න තියා හිතන්න වත් එපා..
එයාව මෙයාව නෙමෙයි ඔයාට පුළුවන්නම් ඔයාව තේරුම් ගන්න පුළුවන්ද බලන්නකෝ..
සමහරවිට අනිත් කෙනාගේ වෙනස් වීමක් නොගැලපීමක් විදිහට අපිට පෙන්නේ අපේම වෙනස්වීමක් වෙන්නත් පුළුවන්.
මේ අද ඉන්න ඔයාම හෙටත් මේ සිතුවිලි වලින් මේ විදිහටම ඉඳියි කියලා ඔයාට ෂුවර් කරන්න පුළුවන් ද කියලා හිතන්න..
මන්දා මට නම් බැහැ,
දන්නවද මේ ලෝකේ අමාරුම දේ මිනිස්සුන්ව තේරුම් ගන්න එක නෙමෙයි, තමන්ව හරියට තේරුම් ගන්න එක.
තමන්ව තේරුම් ගත්ත දවසට අනිත් අයව තේරුම් ගන්න එකත් තේරුමක් නැහැ කියලා තේරෙයි.
වෙන කෙනෙක්ව තේරුම් ගන්නවා තියා මැරෙන මොහොත වෙනකම්ම අපිට අපිවවත් හරියට තේරෙන්න නැහැ, තේරුම් ගන්නත් බැහැ..එච්චරයි..
අපි කැමති උනත් අකමැති උනත්, එකඟ උනත් නැතත් ඒ තමයි හැටි..
අනිශා ජයකොඩි