අඟහරු ලෝකෙත් එක්ක සම්බන්ධතා පවත්වන තරමට තාක්ෂනය දියුණු උනත් මිනිස්සු අතරඇතිවෙන සම්බන්දතා වලදී නම් ගොඩක් වෙලාවට අපි ෆේල් .

ජීවිතේ මතක ඇති කාලේ ඉඳලා අද වෙනකම් , මගදී නැවතිච්ච එහෙමත් නැත්තම් බිඳිලා ගිය සම්බන්ධකම් නම් කීයක් කියලා තියනවද ?

පෙම්වතුන් , යාළුවො , නෑදෑයෝ කොච්චරක්ද ?

ඒ හැම බිඳීමකටම හේතුව එකම එක දෙයක් , ඒ තමයි ”බැඳීම් ඇතුලෙ තමන්ව සෙවීම ”

අනේ අපි නම් එහෙම නැහැ කිව්වට අපි හැමෝම හැම සම්බන්ධයක් ඇතුලෙම තමන්ව හොයනවා , අනිත් අයව තමන්ට අනුගත කරගෙන සම්බන්ධය තමන්ට ලේසි කරගන්න හදනවා , ඒ උත්සාහය දිගින් දිගටම අසාර්ථක නම් තව දුරටත් එතන රැඳෙන්න තමන්ව කැපකරන්න ඕනේ කියලා තෙරුනහම , බිඳෙනවා .ඔන්න ඕකයි වෙන්නෙ

එයා ජොබ් එකක් කරනවට මම කැමති නැහැ , එයා යාළුවො එක්ක සෙට් වෙනවට මම කැමති නැහැ , අරගොල්ලො කියන්නෙම බොරු ඒක මට පෙන්නන්න බැහැ , ඒ ගෑණි ගෙ පම්පෝරිය වැඩියි මම ඕවට කැමති නැහැ , ඔන්න ඔය දේවල් නේද සම්බන්ධකම් බිඳෙන්න හේතු .ඒකෙ තේරුම හැම තැනදීම අපි අපිව හොයනවා කියන එක.

රූපය සමාන අය හත් දෙනෙක් හිටියට , සිතුවිළි සමාන මිනිස්සු ලෝකෙ නැහැ , නැති දේවල් හොයලා වැඩකුත් නැහැ , ආදරේදී , යාළුකම් වලදී හෝ මොන සම්බන්ධයදී හරි එක මොහොතක් හරි අනිත් කෙනාව උහුලගන්න බලන්න , අනිත් කෙනාව දරාගන්න උත්සාහ කරන්න , මොකද ඔබට හරියන ඔබ තරම්ම ඔබට අනුගත වෙන මිනිස්සු හොය හොයා ගියොත් ජීවිතේ පුරාවටම හොයනවා මිසක කිසිම සම්බන්ධයක රැඳෙන්න වත් විඳින්නවත් හම්බෙන එකක් නැහැ.

මුලින්ම ඔබ කව්ද කියලා තේරුම් ගන්න , ඔබට ඔබ වීමට ඇති අයිතිය අනිත් කෙනාටත් ඒ විදිහටම තියන බව තේරුම් ගන්න, තමන් වගේ වෙලා තමන්ට අනුගත වෙයි කියන අසාදාරණ මමත්ව මනස්ගාතයෙන් එලියට බැහැපු දාට අපේ ජීවිතේ දැන් තියන බරෙන් බාගයක්ම නිදහස් වෙනවා.

සරළවම කිව්වොත්, සබඳකම් නොබිදෙන්න නම් , එක්කෝ කැපවෙන්න ඕනෙ නැත්තම් දරාගන්න ඕනෙ ,

කැපවීම කියන්නේ විඳවීමක්, කැපවීමේ ඇරියස් එක ඒ පීඩනය ටික ටික හිතේ ඩිපොසිට් වෙලා පිරිලා උතුරලා දෝරෙ ගිය දාට ගිනිකන්දක් පිපුරුවට වඩා දරුණුයි. එදාට සම්බන්ධකම් තියා ඒවා තිබ්බ තැනක්වත් හොයාගන්න හම්බෙන්නේ නැහැ , හොඳම දේ තමයි, මිනිස්සුන්ව වෙනස් කරන්න නොගිහින් ඉන්න විදිහටම පිළිගන්න එක,ඒක හුරු වෙච්ච දාට, ඕන කෙනෙක් එක්ක ඉන්නත් පුළුවන්, ඕන කෙනෙක්ට යන්න දෙන්නත් පුළුවන්.. ඕන දේකට ඔට්ටුයි..

ඔබ මමවත් මම ඔබවත් නොවේ.

ඔබ මා වී මම ඔබ විය යුතුද නොවේ.

මට මම වෙන්න දී ඔබ ඔබ වෙන්න..

ඔබව මගෙ අස්සෙ හොයන්න එපා, මාව ඔබ අස්සෙ හංගගන්න හදන්නත් එපා..

සම්බන්ධකම් අස්සෙ තමන්ව හොයන්න නොගිහින් , ඉන්න කෙනාව ඉන්න විදිහටම දරාගන්න හුරු වෙච්ච දවසට, ඔයාගෙ ජීවිතේට නොගැලපෙන මිනිස්සු හම්බෙන එක නවතියි.

අද වහ වගේ දේවල් එදාට අදට වඩා රහට දැනෙයි.

අනිශා ජයකොඩි ✍