පහළ පින්තූරෙ අහම්බෙන් දැක්කෙ , හැබැයි මේක ඇතුළෙ හැංගිලා තියන යතාර්ථවාදී කථාව නම් ගොඩක් තැන්වලදී දකිනවා .
උදාහරණයක් කියන්නම්කො ,මේක අවුරුදු ගානකට කලින් වෙච්ච සත්‍ය සිද්ධියක් ,
බොරැල්ල හංදියේ බෝ ගහ යට , වැල් වෙච්ච රෙදි බෑග් එකක් කරේ එල්ලගෙන නිතරම හිඟමන් යදින වයසක මනුස්සයෙක් හිටියා ,හැබැයි අනිත් අය වගේ මේ මනුස්සයා මිනිස්සු ලඟට ගිහින් අඬ අඬ දුක කියා කියා සල්ලි ඉල්ලන්නේ නැහැ , එක්කෝ බෝ ගහ යට නැත්තම් බ්‍රිජ් එක යට කොනක ඉඳගෙන ලේන්සුවක් එලාගෙන ඔහේ ඉන්නවා විතරයි ,ඔය හරියේ අලුතෙන් පළතුරු කඩයක් දාපු මුදලාලි කෙනක් හිටියා මනුස්සයා හැමදාම උදේ 6 වෙනකොට කඩේට එනවා ලොරි වලින් පලතුරු ගන්න , දවසක් කඩේ අරිනකොටම අලුත්ම BMW එකක් කඩේ ඉස්සරහින් නවත්තනවා , ඒකෙ ඉස්සරහ සීට් එකෙන් බහින්නේ අර හිඟන මනුස්සයා , හිඟන්නෙක් කොහොමද මේ වාහනේ එන්නේ අනික ඉස්සරහ ඉඳගෙන මේ උදේම ? මුදලාලි මේක ගෝලයට කිව්වට ගෝලයා විස්වාස කරන්නෙත් නැහැ , ඊළඟ දවසේත් මේකම වෙනවා , ඒ විතරක් නෙමෙයි හවස හතට විතර ඒ කාර් එකේම නැගලා මේ හිඟන මනුස්සයා යනවත් දකිනවා ,මේ කුතුහලය නිසාම මුදලාලි දවල් හිඟන මනුස්සයා ඉන්න තැනට ගිහින් , තමුසෙ හිඟා කෑවට එන්නෙ යන්නෙ BMW වල නේද මම දවස් ගානක් දැක්කා, කව්ද ඒ කාර් එකේ එන මහත්තයා ?කියල ඇහුවා ,
“ඒ මගෙ පුතා මහත්තයො” වැඩට යන ගමන් මාව මෙතනින් බස්සල යනවා ,
කියලා උත්තර දුන්නා
මුදලාලිට තරු පෙනුනා ..
යකෝ BMW එකක් තියන පුතෙක් තමන්ගෙ නාකි තාත්තව පාරෙ හිඟා කන්න ගෙනත් දානවා කියන්නේ මොන අපරාධයක්ද ? මූව මරලත් මදිනේ ,කියලා හිතාගෙන ගෝලයත් එක්ක එකතු වෙලා, හිටපන්කෝ එයිනේ අද හවස ඕකා , කියල කාර් එක එනකන් ඉන්නවා ,
කාර් එක එනවා , සිංහල භාශාවේ ලස්සනම වචන වරුසාවක් එක්ක පට පට ගාන සද්දෙත් එක්ක අර හිඟන මනුස්සයා මර හඬ දීලා කෑ ගහන සද්දෙත් ඇහෙනවා , අන්තිමට කට්ටියම නැවතුනේ බොරැල්ලේ පොලිස්සියේ ,
සර් මූට ගහන්න නෙමෙයි මරන්න ඕනේ , මූ මේ අහිංසක තාත්තව හිඟා කන්න පාරට ගෙනත් දානවා , ටයි දාගෙන කාර් වල ගියාට මූ තිරිසනෙක් සර් ..
නොපෙන්නුවට මුදලාලිගේ කතාව ඇහුවම OIC ගෙත් පපුව පිච්චිලා යනවා ,
මොකද්ද මහත්තයා මේ කතාව , ඇත්තද මේ මුදලාලි කියන්නේ ? මේ හිඟන මනුස්සයා තමුන්ගේ කව්ද ?
මේ මගේ තාත්තා ,
බැනුම් අහලා ගුටි කෑවත් කිසි තරහක් නැතුව හිටපු මේ පුතා උත්තර දෙනවා ,
එතකොට තමුන්ද මේ මිනිහව හිඟා කන්න ගෙනත් දාන්නේ ,
ඔව් සර් ගෙනත් දාලා ගෙනියන්නෙත් මම ,
මොකක් , තමුසේ මොන ප&$#@&…ඕයි , තමුසෙට යන්න අපායක් නැති වෙයි..චික් කියලා තරහෙන් පුපුරමින් පිළිකුලෙන් පොලිස්සිය ටම ඇහෙන්න කෑ ගහනවා.
ඒත් එක්කම අර වයසක හිඟන මනුස්සයා අලුත් කතාවක් පටන් ගන්න හදනවත් එක්කම ,
“හරි හරි තාත්තා කට වහගන්න” කියලා පුතා තාත්තාගේ කතාව නවත්තන්න හදනවා ,
මේක පොලිස්සිය , තමුන්ට ඕන දේවල් මෙතන කරන්න බැහැ ,තාත්තා කතා කරන්න කියලා OIC කතාවට ඉඩ දෙනවා ,
සර් මම මගෙ අම්මා තාත්තා කව්ද කියලා දන්නේ නැහැ , පොඩි කාලේ ආචිචි ළඟ හිටියේ , මම මීමැස් මොර කාරයෙක් ,ගෙවල් අහල පහල වැඩට හිටිය කෙල්ලෙක් මගේ එක්ක ආවා , අපිට දරුවෙක් හම්බුනා , මේ ඒ පුතා.. දරුවා පොඩි කාලේ ගෑණි මලා , එදා ඉඳලා පාරේ හිඟා කාලා මම කොල්ලට ඉගැන්නුවා , කොච්චරක්ද කිව්වොත් මේ මගෙ පුතා දැන් දොස්තර මහත්තය කෙනෙක් ,
දොස්තර කෙනෙක් ??ඒක ඇහුවම කට්ටියම උඩ ගියා ,
පුතා දොස්තර කෙනක් වෙනකම්ම මම කොල්ලට වියදම් කලේ මේ හන්දියේ හිඟා කාලා , ඒත් දැන් පුතා මාත් එක්ක තරහයි , මාව උදේට ගෙනල්ලා දාලා හවසට ගෙනිච්චට පුතා මගෙත් එක්ක කතා කරන්නේ නැහැ ,
ඒකට හේතුව , මගෙ මේ පුරුද්ද මහත්තයා..
මොකක් ?
ඔව් මහත්තයා මේ මගේ පුතා රත්තරන් කඳක් , මට හැම සැප සම්පතක්ම දෙනවා , දවස් ගානක් අඬ අඬ කිව්වා අනේ තාත්තේ හිඟා කන එක නවත්තන්න කියලා , ඒත් මහත්තයෝ මේක තමයි මගෙ ජීවිතේ , මට මේක නොකර ඉන්න බැහැ , බොරැල්ල හන්දිය නොදැක මට නින්ද යන්නේ නැහැ , කවද හරි මේක නතර කරනකම් පුතා මාත් එක්ක කතා කරන්නේ නැහැ කියලා කියලා තියෙන්නේ , හැබැයි උදේට මාව ගෙනත් දාලා හවසට ගෙනිහින් හරිම ආදරෙන් මාව බලාගන්නවා , මේ පුතෙක් නෙමයි දෙයියෙක් මහත්තයෝ ..
…………………
මුදලාලි දැක්ක දේ අනුව මුදලාලි වැරදි නැහැ ,
තාත්තගෙ කතාව අනුව තාත්තා වැරදිත් නැහැ ,
පුතාගේ කතාව ඇහුවම පුතා වැරදිත් නැහැ ,
ජීවිතේ අපිට ඇහෙන බොහෝ කතා ඔය වගේ තමයි , කාගේ හරි කතාවක් ,සිද්දියක් ඇහුවම අනේ ඇත්තද එයා එහෙම කලාද හෙන ගහන්න ඕනේ ඕකට කියලා හිතුනට ,ඒ කතාවෙම අනිත් පැත්තට ඇහුම්කන් දුන්නනම් ඒ සිතුවිල්ල මොන තරම් වැරදිද කියලා ඔයාට හිතෙයි ,
නිව්ටන් කියන විදිහට සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියනවා වගේ හැම කතාවකටම දෙපැත්තක් තියනවා ,
ඔයා හිටගෙන ඉන්න පැත්ත අනුව ඔයාට පේන දේම , වෙන පැත්තක හිටගෙන ඉන්න කෙනෙක්ට වෙනස් විදිහට පෙනෙන්න පුළුවන් ,
ඔබ දකින , ඔබ විශ්වාස කරන දේ නිවැරදි වූ පමණින්ම අනිත් අය වැරදිකාරයො වෙන්නේ නැහැ , ඒ අයට තමන්ගෙ පැත්ත සාදරණීකරණය කරන්න ඔබ හිතනවට වඩා බොහෝ හේතු තියෙන්න පුළුවන් ,
කුමක් හෝ සිද්ධියක් කනෙන් ඇහුවට ඇහෙන් දැක්කට , ඔබ නොදැකපු ඔබ නොඅසපු කොටසකුත් ඒ කතාව ඇතුලේ තියෙන්න පුළුවන් ,
හොරෙක්, මංකොල්ලාකාරයෙක් , බේබද්දෙක් , නරක ගැහැනියක් , උගතෙක් , වැදගතෙක් කියලා කාව හරි කුලකගත කරන්න හදිස්සි වෙන්න එපා , ඔබ දන්නේ ඒ කතාවේ එක කොටසක් විතරක් වෙන්න පුළුවන් , අවසානය ඔබ හිතනවට වඩා බොහෝ වෙනස් කතාවක් වෙන්න පුළුවන්…
ඒ නිසා සම්පුර්ණ කතාව නොදන්න තැන් වලදී තමන් හිටගෙන ඉන්න තැන අනුව පෙනෙන දේ දැකලා තීරණ ගන්න එක එච්චර සාර්ථක නැහැ ,
අර කතාවකුත් තියෙන්නේ ,මා ගැන විනිශ්චය දීමට පෙර මා ආ මග දිගේ ඔබත් ඇවිද එන්න , එදාට අදට වඩා බොහෝ දේ ඔබට පැහැදිළිව පෙනේවි ..
එනිසා ,ඔබ නිවැරදියි කියන එකේ තේරුම අනිත් පාර්ශවය වැරදියි කියන එක නෙමයි , ඔබට අනුව ඔබ නිවැරදි සේම ඔහුට අනුව ඔහුද ද නිවැරදි විය හැකිය ..
අනිශා ජයකොඩි
Anisha Jayakody