ඔබ ඔබේ බිරිඳට දීලා තියන වටිනාම දේ මොනවද ?
මම එයාට මගේ සෙනෙහස දීලා තියනවා ,ඊට පස්සෙ, ලෝකෙ රටවල් 16 ට විතර ඇයව එක්කන් ගිහින් තියනවා ,හෙළිකොප්ටර් එක ඇරෙන්න මුහුද යටින් , අහස උඩින් යන හැම වාහනයකම ඇයව එක්කන් ගිහින් තියනවා ,ගිය අවුරුද්දේ ලෝකේ කිසිම කෙනක් නොකරපු තරමේ දෙයක් මම ඇය වෙනුවෙන් කළා ,සිංහරාජ අඩවියේ පන්නිල කියන ගමේ ලංකාවේ ලොකුම සැතපෙන පිළිමය ඇය වෙනුවෙන් නෙළුවා ..සහජාන් ටජ්මහල හැදුවේ මහජනතාවගේ සල්ලිවලින් , මම මගේ බිරිඳ වෙනුවෙන් මේ පිළිමය හැදුවේ මමම දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් ,
මගේ බිරිඳ මාව ආරක්ෂා කරගෙන මට සහය වුනේ නැත්තම් කෙසේවත් මට මේ තත්වෙට එන්න බැහැ , ඉතින් ඒ නිසා මට දෙන්න පුළුවන් හැමදේම මම එයාට දෙනවා , මම ඒ කෘතගුණ හැමදාම සළකනවා …
පසුගිය දා මාද්යකදි මේ කථාව කිව්වේ, සුළු සේවකයෙක් විදිහට ජීවිතේ පටන් අරගෙන , මේ වෙනකොට ලංකාවේ රස ලෝකෙටම පෙන්නපු මේ සරළ මිනිසා මහා ලොකු පොතේ උගතෙක් නොවුනට ජීවිත විශ්ව විද්‍යාලයේ ගවුරවනීය උපාධිධාරියෙක් ..ඒ තමයි ප්‍රවීණ සුපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා ..
………………………….
ජීවිතේ දෙවැනි උපත විවාහය කියලයි කියන්නෙ , ඒකෙ තේරුම ජීවිතේ අලුතෙන්ම පටන් ගැනීම කියන එකම තමයි , එතකන් අම්මා කරපු රාජකාරි ටික ඊට පස්සේ වෙන්නේ බිරිඳ අතින් , කන්න උයලා , ලෙඩට දුකට බලලා , ශරීර සැප මානසික සැප හදලා දීලා , දරුවෝ බිහිකරලා , වෙලාවකට සැර වැර අවවාද කරලා , අඩියෙන් අඩිය ජීවිතේ ඉහළට නගින්න ඉනිමං තියන්නෙ වෙන කවුරුත් නෙමයි කසාද ගෑණි ,
පබිලිස් සිල්වා මහතාට ඕක මතක තිබ්බට බහුතර පිරිමින්ට ඕක මතක නැහැ , කෝටියක් ඇදුනට පස්සේ හූරන්න උදව් උන රුපියල විසිකරලා දානවා වගේ , සත ගණන් වලින් ජීවිතේ ඇහිඳපු මිනිස්සු මොණර කොළ වලට මාරු වෙනකොට ඉස්සල්ලාම අමතක වෙන්නෙ ළඟම හිටපු ගෑණි ..
සමහර පිරිමි බෝතල් මූඩි දෙක තුනක් ගලවගත්ත ගමන් බයිට් එකට කඩල වෙනුවට ගන්නෙත් ගෑණු ..
අප්පෝ මචන් අපේ ගෑණිගෙ හෙන චුරු චුරුව බන් , ගෑණු හෙන වදයක් බන් , ගෑණු නම් තිත්ත වෙලා බන් , එකී නොකී දහසක් වැරදි කියවලා කියවලා හරි සැමියා ගෙදර එනකන් එහෙම දොස් අහපු ගොඩක් ගෑණු , නිදි මරාගෙන දොර ඇරගෙන බලන් ඉන්නවා ..
නෝනා එක්ක රමණයේ යෙදිලා ,නෝනා මැදපු ඇඳුම ඇඳගෙන , නෝනා හදපු තේ එකත් බීල ,නෝනා බැඳලා දීපු බත් එක අරගෙන , වැඩට ඇවිත් අපේ ගෙදර මම විතරයි බන් වැඩ කරන්නේ wife ගෙදර නිකන් ඉන්නෙ , කියල ගෑණිව එකයි විසිපහට දාලා කතා කරන ගොබ්බ පිරිමි මම ඇස් දෙකෙන්ම දැකලා තියනවා , හම්බකරන ගානෙන් ජීවත් වෙන්න ඕනේ නිසා , හරියට ඇඳුමක් පැලඳුමක් නොගෙන , විච්චුර්ණ නොකර , දරුවෝ දෙතුන් දෙනක් වදලා ජීවිත යුද්දේ නිසා බාගෙට වැහැරුණ බිරිඳට ”අප්පෝ බලනවකො තමුසෙගෙ හැටි , ”කියල අපහස කරන නමට සැමියොත් ඕන තරමට ඉන්නවා .
හැබැයි හොඳ සිහියෙන් බැලුවොත් ”සැමියා ” කියන චරිතය තනිකරම බිරිඳ වටේ නිර්මාණය වෙච්ච කවයක් ,හිනාවෙන්න ජොලි කරන්න , fun ගන්න කව්රු හිටියත් අතේ සතේ නැතුව , තනිවෙලා ලෙඩ වෙලා , හොම්බ බිම ඇනුණ වෙලාවට , ළඟ ඉන්නේ ගෙදර ගෑණි විතරයි.
ඇමරිකාවේ හිටපු ජනපති බැරක් ඔබාමා , ප්‍රංශ ජනපති ඉමානුවෙල් මැක්රෝන් , ඉන්දියාවේ ශාරුක් ඛාන් , වගේම අපේ සදා අමරණීය WD අමරදේව ශුරීන් ,වැනි ලෝකය දිනපු බොහෝ පිරිමි ඒ මැජික් එක කලේ තමන්ගේ බිරිඳ කියලා ඉතා නිහතමානීව පිළිගන්නවා.
අප්පෝ අපේ ගෑණු ඔහොම නැහැ , උන් මහ කරදරකාරයෝ , උන් අපිව කන්නමයි බලන් ඉන්නේ කියන පිරිමි එක දෙයක් තේරුම් අරගෙන නැහැ ,
ගෑණු කියන්නෙ හරි අමුතුම මැජික් එකක් , ඒ මැජික් එකේ ප්‍රථිපල තීරණය වෙන්නෙ පිරිමින්ගෙ දායකත්වය අනුව තමයි ,
ආදරය ,ගවුරවය , ආරක්ෂාව නියමිත ප්‍රමිතියට දීලා ,වගකීම් බෙදාගෙන , ටිකක් වැඩිපුර සවන්දුන්නා නම් ඒ හොඳටම ඇති ,එතකොට ඔබේ සිහින , අරමුණු , වලට ඔයා හිතනවට වඩා ලේසියෙන් යන පාර බිරිඳ එළි පෙහෙළි කරලා දෙනවා දෙනවාමයි ,
ආදරය , කරුණාව ,සහ අනිත් දේවල් දෙන්න ඕනෙ මාත්‍රාව නොදී , සාර්ථක ප්‍රථිපල විතරක් බලාපොරොත්තු වුනාට වැඩක් නැහැ , එතකොට වෙන්නේ අතුරු ප්‍රථිපල වැඩි වෙන එක විතරයි ..
පබිලිස් සිල්වා මහතා වගේ , ප්‍රසිද්ධ මාද්‍ය වල නොකිව්වට කමක් නැහැ ,නිකමට තමන්ගේ හිතෙන් අහලා බලන්න , තාමත් අවිවාහක නම් ඔබේ, අම්මා තාත්තා වෙනුවෙන් කරන කැපවීම බලන්න , අම්මලා නැති වුන දවසට තාත්තලා මොන තරම් අසරණ වෙයිද කියලා හිතන්න ,
විවාහක ඔබේ කථාවත් ඒකම තමයි , සමාජය ඉදිරියේ මං පොර ජාතකේ කියෙව්වට , ඔබේ බිරිඳ නැති උනොත් ඔබ ළඟ ඉතුරු වෙන්නේ මොනවද කියලා නිකමට හිතලා බලන්න , ඒ කන්කරච්චලේ , ඒ කියවිල්ල , ඒ ආදරේ , ඒ ආදරණීය කරදර , ඒ නීති සංග්‍රහය නැති වෙලා ගිය දාට , ලී ගොඩවල් , යකඩ ගොඩවල් , සල්ලි කොළ ඇරෙන්න ඔබට සැනසීම ගෙනෙන වටිනා කියන වෙන කිසිම දෙයක් ඔබ ළඟ නැහැ, ඒක සත්‍යයයි ..
සිදුහත් කුමාරයා බුදු බව ලබලා , මුලින්ම හොයාගෙන ඇවිත් දුකෙන් මිදෙව්වේ හිටපු බිරිඳ යශෝදරා ව ”මොකද බුදුන් වහන්සේ පවා පිළිගත්තා , මේ තරම් ඉක්මනට තමන්ගෙ අරමුණට යන්න ලැබුණේ ඇය නිසා බව …
දහිරියවන්ත ගැහැණියකගේ හයිය තියනවනම් පිරිමියෙකුට යන්න පුළුවන් දුර සීමාවක් නැහැ ..
ඔබ ඔබේ සැමියාගේ ගමනට හයියක් ශක්තියක් වෙනවද , නැත්තම් දෙනදේ කාලා වෙන දේ බලාගෙන ඉන්න උපන්ගෙයිම නිකම්ම නිකන් ගෑණියෙක්ද කියලා බිරින්දෑ වරුත් තව සැරයක් හිතලා බලන්න ..
(මොකද මෙතන නොලිව්වට , පබිලිස් සිල්වා මහතාට සැනසීම ගෙනාවට ගොඩක් පිරිමින්ට වැනසීම ගෙනත් තියෙන්නෙත් ඔය බිරිඳ කියන සත්වයාම තමයි ඉතින් )
ඔබටත් ඒ වගේ ආදරණීය , බිරිඳක් ඉන්නවනම් ප්‍රමාධ නොවී ලෝභ නැතුව ඒ ගවුරවය ඇයට ලබාදෙන්න ,මොකද හැමෝටම හිත හයිය ගැහැණු ලැබෙන්නේ නැහැ ,
බිරිඳකගේ ආදරයට අගයක් දෙන්න පුළුවන් නිහතමානී පිරිමින්ටම විතරයි ..
ඒ අතරින් පබිලිස් සිල්වා කියන්නෙ වචනයේ අර්ථයෙන්ම ”ආදරණීය සැමියෙක් “..
අනිශා ජයකොඩි