
ගෑණු වෙලාවකට අහස වගේ,
මුලක් මැදක් අගක් හොයාගන්න බැහැ ,
පිරිමි,හුඟක් හිතේ හංගගෙන පොඩ්ඩක් කියවනකොට, ගෑණු පොඩ්ඩක් හිතේ හංගගෙන හුඟක් කියවනවා,
හැබැයි ගෑණු අර හoගන් ඉන්න පොඩ්ඩ ඇතුලේ තමයි බරම ටික තියන් ඉන්නෙ,
ඉතිං,ගොඩක් කියවලා කියවලා ගෑණු හිතනවා තමන් කියපු දේවල් වලින් නොකියපු දේවල් ටික පිරිමි තේරුම් ගනියි කියලා.
ඒක පිරිමි තේරුම් ගත්තේ නැති වුනාම උන් කියනවා, එයා මාව තේරුම් ගන්නෙ නෑ ඒ නිසා ඒ පිරිමියාව අත ඇරියා කියලා,
ගෑණු අත ඇරියා, අත ඇරියා කියලා දිවුරලා කිව්වට උන් එහෙම ලේසියෙන් කිසි දෙයක් අත අරින්නේත් නැහැ, ඇත්තම කිව්වොත් උන්ට එහෙම අත අරින්නත් බැහැ.
ගොඩක් වෙලාවට උන් හිත අල්ලගෙන, අත විතරයි අත අරින්නේ..
ගෑණු අත ඇරියා,ඇරියා කියලා කෑ ගහලා කියන හුඟක් තැන්වල අත මිසක් හිත ඇරලා තිබ්බේ නැහැ.
උන් අත ඇරියා කියලා කෑ ගහලා තමන්ටම ඇහෙන්න කියලා බලනවා, අතත් එක්කම හිතත් යවාගන්න පුළුවන් වෙයිද කියලා..
ඒත් උන්ම දන්නේ නැහැ හිතේ තද කරගෙන අත ලෙහුවම ඒකෙන් වෙන්නෙ උන්ගෙම හුස්ම හිරවෙන එක කියලා.
අත් ලෙහිලා අවුරුදු ගානක් ගියත් තාමත් හිතේ ගැට ලෙහා ගන්න බැරි වෙච්ච ගෑණු කීයක්නම් අදටත් ඔහේ අහස දිහා බලන් හුස්ම අල්ලනවා ඇත්ද?
ගෑණුන්ට හිතේ බැඳගත්ත ඒවා ලෙහන්න ලේසි නැහැ.උන් ඒවාට ලේසියෙන් ලෙහෙන්න දෙන්නෙත් නැහැ,ගෑණු ඒවා හිතේ පුංචි කොනක හරි හිරකරන්,ගුලිකරන්, තමන්ටම රිද්දවගනිමින් පරිස්සමට තියන් ඉන්නවා.
එතකොට ගෑණු කවදාවත්ම අත අරින්නේ නැද්ද?
අපෝ අත අරිනවා, අන්න ඒක තමයි දරුණුම..
උන්ගෙ අර නන්ස්ටොප් කියවිල්ල නැවතුනා කියන්නෙ උන් අත ඇරියා කියන එක තමයි.
ඇත්තටම අත ඇරියා කියන්නෙ,
“අත ඇරියා ” කියලා කියන්නවත් උන් එතකොට කට අරින්නේ නැහැ..
අන්න එදාට උන් නිහඬව යන්නම යනවා.
කියවපු ගැහැණියෙක් එක පාරට නිහඬ වෙනවා කියන්නෙ, සමහරවිට ඒ අත හැරීම වෙන්න පුළුවන්.
රණ්ඩු වෙලා තරහ වෙලා කෑ ගහලා දාලා ගියපු ගැහැණියෙක් ආයෙ කවදාම හරි ඔයා ලඟට එන්න පුළුවන්, හැබැයි මුකුත්ම නොකිය හිනා වෙලා යන්න ගියපු ගැහැණියෙක් ගැන එහෙම හිතන්න එපා, එයා ආයෙ කවදාවත්ම ආපස්සට හැරෙන්නේ නැහැ, ඒක ස්ථිරයි.
ගෑණුන්ව තේරුම් ගන්න බැහැ ඒක ඇත්ත .. උන්ව තේරුම් ගන්න ඕනෙත් නැහැ…
ගෑණු අහස වගේ..
තේරුම් ගන්න නොගිහින් බලන් හිටියාම ඇති..
අනිශා ජයකොඩි