ගිය සතියේ දවසක රාජකාරි වැඩකට මට Male client කෙනෙක් හම්බෙන්න තිබ්බා .නියමිත වෙලාවටත් කලින් ඔහු අදාළ තැනට ඇවිත් හිටියා, ඒ තවත් boy කෙනෙක් එක්ක .

Hi anisha ,this is Peter, my life partner කියල එයා කිසිම චකිතයක් නැතුව අනිත් කෙනාව ඔහුගෙ ජීවන සහකාරයා කියල හඳුන්නලා දුන්නා. ඔවුන්ගේ සම්බන්ධය කිසිම ලැජ්ජාවක් චකිතයක් නැතුව හඳුන්වලා දෙන්න පුළුවන් සමාජ තලයක උපන්න නිසා ඔවුන්ට ඔවුන්ගේ කැමැත්ත ගැන ලෝකෙන් හංගන්න මහන්සි වෙන්න උනෙ නැහැ.

ඒ දෙන්නා සමරිසි ජෝඩුවක්,

ඒ වගේම මගෙ client රාජකාරිය අකුරටම කරන නියම මීටරයක් ,ඒ ඔක්කටම වඩා කාටවත් කරදරයක් නැති හරිම සුහදශීලි හොඳ මනුස්සයෙක් ,ඔවුන්ගේ පුද්ගලික ජීවිතයෙන් ඔවුන්ටවත් රටටවත් ප්‍රශ්නයක් නැහැ , ඒ වගේම රාජකාරියේදී ඒක අදාලත් නැහැ ,ඉතින් ඒ දෙන්නා ගැන තව දුරටත් කතා කරන්න දෙයක් නැහැ .

හැබැයි , අපේ රටේ තත්වේ ඒකෙ අනිත් පැත්ත ,

ලිංගිකත්වය තමයි අද ලංකාව ඇතුලේ තියන මිනිස්සුට හිනාව ගෙනෙන ලොකුම විහිලුව ,එහෙමත් නැත්තම් හොඳම joke එක ..කෙනෙකුට මඩ ගහන්න තියන බලවත්ම අවිය ලිංගිකත්වය බවට පත්වෙලා ,සදාචාරය සංස්කෘතිය , සභ්‍යත්වය මේ මොන වචන දාලා සාදරණිකරනය කරන්න හැදුවත් තවත් කෙනෙක්ගේ අතිශය පවුද්ගලික කාරණාවකට බලපෑම් කිරීම නම් එකෙන්ම හෙනම හෙන නොහොඹිනා වැඩක් .

”ලිංගිකත්වය ”කියන්නේ මුලික මිනිස් අයිතිවාසිකමක් ,

බඩගින්න , තිබහ , නිදිමත වගේ හැමෝටම දැනෙන නවත්තන්න බැරි පාලනය කරන්න අසීරු අවශ්‍යතාවයක් .

මිනිස්සු හැටියට අපි හැමෝගෙම අවශ්‍යතා එක සමාන උනාට කැමැත්ත එක සමාන නැහැ , කැමැත්ත විවිධාකරයි ,

බඩගින්න දැනුනම මම කන්නෙ පාන් , මගේ යාළුවා කන්නෙ නුඩ්ල්ස් , අල්ලපු ගෙදර අය කන්නෙ පැස්ටා ,මගෙ අංකල් කන්නෙ සොසේජස් …ඉතින් අපි කාගෙ හරි ඒකෙ වැරද්දක් තියනවද?… නැහැනෙ ,

මම පාන් කෑවා කියලා ලෝකෙ අනිත් හැමෝම පාන්ම කන්න ඕනේ නැහැ ,ඒ වගේම අනිත් කෙනා නුල්ඩ්ස් කෑවා කියල මම පාන් කන එක නවත්තලා බලෙන් නුල්ඩ්ස් වලට පුරුදු වෙන්න ඕනේ කියල මම හිතන්නෙත් නැහැ , ඒ වගේම අනිත් අය මම පාන් කනවට විරුද්ධ වුනා කියලා මම මගේ කෑම වෙනස්කල යුතුත් නැහැ ..එහෙම නේද ?

හැබැයි මම පාන් වලට කැමති වෙලා නුඩ්ල්ස් වලට අකමැති කියලා කෙනෙක් ඇහුවොත් දෙන්න උත්තරයක් මම දන්නෙත් නැහැ , මොකද ඒ තමයි මට දැනෙන විදිහ , ඒ තමයි මගේ දිවට දැනෙන රස ,

ඕක නේද ඇත්තම කතාව ..

කෑම ගැන විතරක් නෙමෙයි ලිංගිකත්වය ගැන කතාවත් ඕකම තමයි .

බොහෝවිට පිරිමියෙක් ලිංගික අවශ්‍යතාවට ඉෂ්ට කරගන්නේ ගැහැණියෙක් එක්ක ,

ගැහැණියෙක් ඒ අවශ්‍යතාවය වෙනුවෙන් බොහෝවිට තෝරාගන්නේ පිරිමියෙක්ව ,

බහුතරය එහෙම උනාට , පිරිමියෙක් වෙලා ඉපදිලා වෙනත් පිරිමියෙක් එක්ක ලිංගිකව එක්වෙන්න හිතෙන පිරිමි මේ ලෝකේ ඕන තරම් ඉන්නවා ,

ගැහැණු එක්ක එකතු වෙන ගැහැණුත් ඒ වගේම ඉන්නවා ,ඒ තමයි ඒ මිනිස්සුන්ට ඒ හැඟීම දැනෙන විදිහ..ලෝකේ පැවැත්මේ ආරම්භය සිටම එහෙම අය සිටියා , අදත් ඉන්නවා ඒ වගේම හෙටත් ඉඳීවි ..

අපි හැමෝම අපිට ඕන විදිහේ අපි කැමති කෙනා එක්ක අපේ අවශ්‍යතාවට ඉෂ්ට කරගන්න ගමන් වෙනකෙනෙකුට එයා කැමති දේ කරන්න එපා කියන එක නිවැරදිද ? එහෙම කියන්න අපිට අයිතියක් තියනවද?

අතේ ඇඟිලි 5 එක සමාන නැහැ , ඒ වගේ මිනිස්සුන්ගේ සිතුවිලිත් සමාන නැහැ,

ලිංගිකත්වය කියන්නේ කෙනෙක්ගේ එකම එක අවශ්යතාවයක්ම් මිසක් මුළු ජීවිතයම නෙමෙයි ,එක අවශ්යතාවක වෙනස් වීම නිසා ඒ කෙනාගේ පුද්ගලික ජීවිතයට, සමාජයීය පැවැත්මට , රැකියාවට එක එක විදිහට බලපෑම් කිරීම හෙනම හෙන ගෝත්‍රිකයි .

ඔයා කැමති ඇඳුම ඇඳගෙන යන ගමන් අනිත් කෙනා එයා කැමති ඇඳුම ඇන්දා කියලා ඔයාට හිනා යනවනම් ඔබත් අයිති ඒ ගෝත්‍රියටම තමයි.

ලිංගිකත්වය අතිශයම , අතිශය පුද්ගලික කාරනාවක් ,තමන් ඒ දේ විඳින ගමන් වෙනත් කෙනෙකුට ඒකට බලපෑම් කිරීම කොහොමත් අසාදාරණයි .

විෂම ලිංගික මිනිස්සු ඉස්සරහ සමලිංගිකයෙක් වීම , රැකියාවකට , සමාජ සම්බන්දතාවලට , යාළුකම් වලට අදාළ කරගත් යුතු කාරනාවකුත් නෙමෙයි .

සාදාරණ විදිහට හිතලා බැලුවොත් කෙනෙක් සමරිසි වීම ඒ කෙනාට ප්‍රශ්නයක් නෙමෙයි නම් සමාජයේ අපිට කොහොමත් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ ,

දුෂණයක් , බලහත්කාරකමක් නොවී දෙදෙනෙක් කැමැත්තෙන් ඇතිවන ලිංගික සම්බන්දයක් ,සමලිංගික වුනත් විෂම ලිංගික උනත් ඒක මානුෂීය අයිතිවාසිකමක් .

ඔබ පිරිමියෙක් වෙලා ගැහැණියෙක් එක්ක ලිංගිකව සතුටු වෙලා , ඔබේ පිරිමි යාලුවා වෙන පිරිමි ළමයෙක් එක්ක sex කළා කියලා ඔබට හිනා යනවනම් , ඒක හරියට ඔයත් ඇඳුම් නැතුව යන ගමන් ඇඳුම් නැතුව යන වෙන කෙනෙකුට හිනා වුනා වගේ තමයි ..මොකද දෙන්නම සමානයි .

විෂම ලිංගික ඔබ සමලිංගික කෙනෙක් දැක්කම අනේ එයා ”gay ” එයා ”lesabian” කියල කියනවනම් ඒ එක්කම මම hetrosexual කියල කියන්නත් මතක තියාගන්න ,

මොකද එයා එහෙමයි වගේම ඔයා මෙහෙමයි ,

එයාගෙයි ඔයාගෙයි කිසිම වෙනසක් නැහැ , විෂම ලිංගික ඔබත් සමලිංගික ඔහු හෝ ඇයත් දෙදෙනාම කරන්නේ තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න එක , ක්‍රමය වෙනස් ,එච්චරයි.

හොරකම් කරන පාලකයොන්ට දෙකට නැවීගෙන , ස්ත්‍රී දුෂකයින්ව හිරේ දාලා තුන් වෙලාම බඩ පැලෙන්න කන්න දීගෙන , කුඩු මුදලාලිලාට සැලියුට් ගහගෙන , තමන්ට කැමති විදිහේ ලිංගික ජීවිතයක් ගත කරන මිනිස්සුන්ව එක කොනකට තල්ලු කරලා , සදාචාරය කනවා , රට කනවා , සංස්කෘතිය විනාශ කරනවා කියලා කොන් කරලා මඩ ගහන එක තරම් විහිළුවක් ඉතින් තවත් නැහැ ,

සදාචාරය , සංස්කෘතිය , සභ්‍යත්වය මේ හැම දෙයකිනම සරළවම වෙන්න ඕනේ , අනිත් කෙනාට කරදරයක් හිරිහැරයක් නැතුව පාඩුවේ ජීවත්වෙන්න නිදහස හදලා දෙන එක මිසක් , මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් හිර කරලා , මානසික පීඩනයට පත් කරලා , සමාජෙන් කොන් කරලා දාන එක නෙමෙයි .

තාක්ෂණයෙන් , මොන තරම් දියුණු උනත් , අනිත් කෙනාගේ ඇඳ උඩ වෙන දේ දැකලා ඔබට තාමත් හිනා යනවා නම් ඔබ තාමත් ඉන්නේ ගල් යුගයේ .,

තරුණ කෙනක් වයසක කෙනෙක් බැන්දට , නළුවෙක් දික්කසාද වෙලා වෙන නිළියක්ව බැන්දට , කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළු උනාට , කැමැත්තෙන් වැඩිහිටියන් දෙදෙනෙක් ලිංගිකව එකතු උනාට , සදාචාරය සංස්කෘතිය කියන අටමගලට වෙන අයහපතක් නැහැ ,

තමන්ගේ දේවල් දහසක් පාඩු කරගෙන අනුන්ගේ ජීවිත වලට හොම්බ දාගෙන මිනිස්සුන්ගේ අතිශය පුද්ගලික කාරණා කරලියට ගෙනත් ඒවාට හිනා වෙන එක නම් සංස්කෘතියට විතරක් නෙමෙයි මනුස්සකමටත් නිගාවක්.

ආර්ථිකව , සමාජයීයව ,තැලිලා පෙලිලා බොහෝ පීඩාකාරී විඳවන ජීවිත ගෙවන තුන් වෙනි ලෝකේ රටක මිනිස්සු විදිහට අපිට ඇඬේන කාරණා මිසක් හිනා වෙන්න කාරණා අඩුයි ඒක ඇත්ත , හැබැයි එහෙමයි කියලා , කාගේ හරි ස්ත්‍රී ලිංගයක් හරි පුරුෂ ලිංගයක් හරි දිහා බලලා හිනා වෙනවා කියන්නේ ඉතින් ඒකත් එක්තරා විදිහක මානසික ලෙඩක් .

ජීවිත වලට මේ තරම් ඍජුව හානි කරවන , පිළිකා රෝහල පුරවන ,කොකාකෝල , මැගී නුඩ්ල්ස් , ඇන්කර් , අජිනමොටෝ තහනම් කරන්න කියලා කියන්න ඇරෙන්නේ නැති කටවල් , තමාට ඍජුව කිසිම බලපෑමක් නැති අනිත් කෙනෙක්ගේ ලිංගික අවශ්‍යතාවයක් වෙනුවෙන් බලපෑම් කරන විදිහ , සමාජෙන් කොන් කරලා අමුතු සත්තු දිහා විදිහට බලලා හිනා වෙන හැටි දැක්කම , කළකිරෙනවා ..

සමරිසි කෙනෙක් දැක්කම සමනළයා , අරකා මේකා කියලා කියවෙනවානම් ඔයා ඊට එහා ගියපු කොටළුවෙක් මිසක් මනුස්සයෙක් නම් නෙමෙයි .

ඔයා ඔහොම කිව්වට ඔයාගෙ ළමයෙක් ඔහොම වුනොත් මොකද වෙන්නෙ, කියල දැන් මගෙන් අහයි. ඔව් මටත් අමුත්තක් දැනෙයි, සමහරවිට අකමැතිත් වෙයි, හැබැයි මට ඕන විදිහට මම ජීවත් වෙනවා වගේම දරුවො ලොකු වුනාම එයාලගේ ජීවිත ගැන අයිතිය තියෙන්නෙ එයාලට, අපේ කැමැත්ත අකමැත්ත කියනවා මිසක් වැඩිහිටි දරුවන්ගේ ජීවිත වලට ඇඟිලි ගහන එක වැරදියි කියල දන්න නිසා, අපේ මතය දරුවන්ට ඔබ්බන්න යන්නේ නම් නැහැ.

රටට සේවය කරන්න , හොඳ මිනිහෙක් වෙන්න , ආදර්ශමත් පුරවැසියෙක් වෙන්න ,ඔය මහා ලොකු ලොකු දේවල් කරන්න ඕනේ නැහැ .

තමන්ට වගේම අනිත් කෙනාටත් පුද්ගලික ජීවිතයක් තියන බව මතක තියාගෙන අඩුම ගානේ අනිත් කෙනාගේ ලිංගික අයිතියට හිනා නොවී ඉන්න බලන්නකෝ ඒ ඇති ..

එතකොට ඔයයි මමයි වගේම භුමි ලා , භාග්‍යා ලත් …මේ මහපොළවේ මීට වඩා සතුටින් ජීවත් වෙලා සැනසිල්ලේ මැරිලා යයි .

අනිශා ජයකොඩි