ටයිටනික් එකේ ජැක්, රෝස් ට මොන තරම් ආදරේ කලාද?

අපරාදේ අර ලී කොටේ තව ටිකක් ලොකු උනානම් ,ජැක්‌ටත් රෝස් එක්කම ඒකට නැගලා ජීවිතේ බේරගන්න පුළුවන් උනානම්, ලෝකෙ ලස්සනම ආදර කතාව තව කොච්චර ලස්සන වෙයිද??

එහෙමද හිතන්නේ,

බැරිවෙලාවත් එහෙම උනානම් ඔය නැවේදි හිටියා වගේම ඒ දෙන්නා කිස් කර කර තුරුල් වෙවී , පෙම් බස් දොඩ දොඩ ම ඉඳියි කියලා ඔයා හිතෙනවද?

කව්රු අකමැති උනත් රෝස් ජැක් වම බැන්දා කියමුකෝ . ටික දවසකින් ළමයෙක් දෙන්නෙකුත් හම්බෙයි.

ජැක් ට රස්සාවට යන්න වෙනවා , රෝස්ට ළමයි බලන්න වෙනවා, ගෙදර වැඩ කරන්න තියෙනවා, ජැක්‌ වැඩ ඇරිලා එන්න පරක්කු උනාම අනිත් ගෑණුන්ට වගේම රෝස් ටත් තරහ එයි. මගෙ කරුමෙට මමත් තමුසෙ වගේ හිඟන්නෙක් එක්ක ආවනේ,කියලා රෝස් හොටු පෙර පෙර අඬයි.අනේ තමුසේ නිසා තමයි මගෙ රස්සාවත් නැති උනේ කියලා ජැක් උනත් කියයි,, එක දිගට පැය ගණන් කියවන රෝස් ගේ කියවිල්ල නිසාම ජැක්‌ ටත් තරහ එයි.

දවස් ගානක් තරහ වෙලා ඉඳලා, දෙන්නා ආයෙ හිමිට යාලු වෙයි. ළමයි ලොකුවෙයි..

ආර්ථික ප්‍රශ්න ළමයින්ගේ ප්‍රශ්න එක්ක ජැක්‌ ලට නැවේ වෙච්ච දේවල් මතකත් නැතුව යයි.

මේ ඒයි.. ඔයාට මතකද ඉස්සර අපි යාළුවෙලා ඉන්න කාලේදී අර නැවේදී දවසක්…… රෝස් ඇඹරි ඇඹරි එහෙම කියනකොටම

“” කාටද අනේ ඕවා මතක “කියලා ජැක්‌

ඇහුනෙ නැති ගානට පත්තරේ බලයි.

බඳින්න කලින් නම් එයා එහෙම නෑ,..

නැවේ අහු මුළු වලදි ත් මාව ඉම්බා, මම හරි ලස්සනයි කියලා කිව්වා, පිරිමි ඔහොම ම තමයි.. බැන්දම වෙනස් වෙනවා කියල රෝස් ගවුමේ කොනකින් ඇස් පිහිද පිහිදා කියයි.

ජැක්‌ රෝස් ව බැන්දත්, දස්කොන් ප්‍රමිලා ව බැන්දත්, සාලියට අසෝකමාලා හම්බුනත්,සීතා රාවණා එක්ක නැවතුනත්, ඔයා කලින් පෙම්වතාව බැන්දත්,මොන ප්‍රේම කතාව උනත් පොඩි පොඩි අඩු වැඩියක් ඇතුව, සමස්තයක් විදිහට ගත්තම වෙන්නෙ නම් ඔය ටිකම තමයි.

අන්න ඒකයි..ලෝක ප්‍රසිද්ද පෙම් කථා ඔක්කොම මගදී නතර වෙච්ච කථා වෙන්න හේතුව,

බැරි වෙලාවත්,උන් උනත් මගදී කැඩිලා නොගිහින් කසාද බැඳලා දරුවෝ හැදුවනම්,ඒ කථාත් නිකන් අපේ කථා වගේ.. වෙලා යනවා විතරයි.

කාටවත්ම, ප්ලැන් කරලා perfume නාල, ජෙල් ගාල ලෑස්ති වෙලා ගිහින් පෙම් කරපු කාලේ වගේ හුරතල් වේවි, වෙලි වෙලී, රටකජු කකා තුරුල්ලටම වෙලා ඉන්න ලැබෙන්නේ නැහැ,කල්යද්දී උන්ටත් මේ ලෝකේ සාමාන්‍ය මනුස්ස ජීවිත වලට අදාළ අභියෝග වලට මුහුණ දෙන්නම වෙනවා.

උන්ගේ කතාත් මේ ලෝකේ කසාද බැඳලා පවුල් කන අපි ඔයාලගෙ කථාවගේ ම වෙනවා.

ප්‍රේමය කියන කොටසට අයිති දේවල් විවාහය කියන කොටසට යද්දි සංකීර්ණ වෙලා, යුතුකම් වගකීම්, දරාගැනීම් බවට පත් වෙනවා. විඳීම් විඳවීම් වෙලා සමහර විඳවීම් විඳීම් වෙනවා.එතනදි ප්‍රේමය වගේම ආර්ථිකය, අවබෝධය, දැනුම, සහයෝගය,සමාජ ප්‍රශ්න,වගේ තව තව දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.

අන්න ඒකයි ඕනම පෙම් කතාවක් බඳින කම් විතරක් සවිස්තරාත්මකව ලියලා wedding එක දවසෙන් කතාව ඉවර කරලා ඊට පස්සේ, happily ever after කියලා දාන්නේ..

ප්‍රේමය තුල පවතින සියල්ල සුන්දර උනාට විවාහය කියන්නෙ ඊට එහා අභියෝගයක්. ඒවා ලියන්න තරම් අතිශය සුන්දර නැහැ..

ඒ නිසා ඔය එක එක පැණි බේරෙන ලව් සටෝරි දැකලා,අපරාදේ අපිටත් අර වගේ කොල්ලෙක් හම්බුනා නම්, අර වගේ කෙල්ලෙක් හම්බුනා නම් කියලා හිතලා නිකන් දුක් වෙන්න එපා. බැන්දට පස්සේ උන් ඔක්කොටම වෙන්නෙත් අද අපිට වෙලා තියන දේම තමයි..යතාර්ථය ඒකයි..

ඒ නිසා, ලැබුන කෙනා තමයි හොඳම කෙනා කියලා හිතලා, ජැක් ඔයා වෙලා එයා රෝස් කියලා හිතලා, ගෙදර නැව කියල හිතන්, තාම බැන්දේ නෑ,කියලා හිතලා සතුටින් ජීවිතේ විඳින්න.. අන්න එච්චරයි.

අනිශා ජයකොඩි